Oct 29, 2020

යළිත් ප්‍රංශයම ලොක්ඩවුන්! Featured

කොවිඩ්-19 ආසාදිතයන් රට තුළ වැඩිවීමත් සමග ප්‍රංශය හෙට (30දා) සිට රටම ලොක්ඩවුන් කිරීමක් (අගුලු දැමීමක්) සිදුකර ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කරයි.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් මෙම පියවර ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වසංගතය පාලනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණි බවයි.

ඒ අනුව මෙම රටම ලොක්ඩවුන් කිරීමෙන් පසුව නව සීමාවන් ක්‍රියාත්මක වන්නේ මෙසේය.

නව අගුලු දැමීම යටතේ, මිනිසුන්ට ගමන් කිරීමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය වේ.

අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර, අවන්හල් සහ බාර් වසා දමනු ඇත.

පාසල් විවෘතව පවතින අතර, මිනිසුන්ට රැකියාවට යා හැකිය. නමුත් බලපත්‍ර අවශ්‍ය වෙයි. වැඩිහිටි නිවාස වෙත යෑමට අවසරය පවතී.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අවධාරණය කළේ මේ අවස්ථාවේදී වෛරසය සඳහා තිරිංග යෙදීමක් නොකළහොත්, නොවැම්බර් මැද භාගය වනවිට සියලුම දැඩි සත්කාර ඒකක ඇඳන් කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට සිදුවන බවය.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top