OPEN

#

OPEN

#

Feb 21, 2017

ඇමති සහයෙන් රාජපක්ෂලාගේ කලු සල්ලි සුදු වෙයි ? Featured

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහයෙන් රාජපක්ෂවරුන්ගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට වූ තොරතුරු රැසක් ජනාධිපති කාර්යාලය වෙත වාර්තාවී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ, හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් ඉදිකරන ලද පාසිකුඩා සංචාරක හෝටලයක් රුපියල් මිලියන 650 මුදලකට සංඛ මධුසංක නැමැති පුද්ගලයෙකුට හදිසියේම අලෙවි කර තිබෙන බවයි.

සංඛ මධුසංක යනු රාජපක්ෂ පාලන සමයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානියා වන අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුම භාරව සිටි පුද්ගලයෙකි.

රාජ්‍ය බැංකුවකින් මිලියන 750ක ණයක් !

රාජපක්ෂවරුන්ගේ සම්බන්ධීකරණය මත රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ මාර්ගයෙන් රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 750ක ණය මුදලක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 650 යොදවමින් මෙම හෝටලය ඔහු විසින් මිලදිගෙන තිබේ.

මෙම හෝටලයට අමතරව මහා පරිමාණ ඉඩම් මිලදී ගැනීමකටද මෙම පුද්ගලයා සූදානම් වන බව තොරතුරු වාර්තා වී ඇත.

රාජපක්ෂලා විසින් නිත්‍යානූකූල නොවන මාර්ග වලින් උපයන ලද මුදල් ආයෝජනය කර මිලදී ගෙන ඇති විවිධ සමාගම් රැසක් මෙලෙස රජයේ බැංකුවල ණය හරහා නැවත රාජපක්ෂලාටම සම්බන්ධ පාර්ශව විසින් මිලදී ගැනීම හරහා ඒවාට නිත්‍යානූකුල ස්වරූපයක් ලබාදීම මෙහි අරමුණයි.

සංක මධුසංක නැමැත්තා වී අලෙවි මණ්ඩලයට සම්බන්ධව කටයුතු කරන සමයේදී සිදුකරන ලද අකටයුතුකම්වලට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි රැසක් ලැබී ඇතත්, ඒවා සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් මෙතෙක් සිදුවී නොමැති බව අප වෙත තොරතුරු ලබාදුන් ජනාධිපති කාර්යාලයේ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top