Nov 17, 2020

ඇමති ගම්මන්පිල සපුගස්කන්දේ නව පිරිපහදුවට අතිරේක වැයක් එක්කරයි! Featured

දිනකට බොරතෙල් බැරල් ලක්ෂයක නව පිරිපහදුවක් සපුගස්කන්ද පිරිපහදුවේ අලුතින් ඉදිකිරීමට අදාලව ශක්‍යතා අධ්‍යනයක් සිදුකර තිබියදී නැවත වරක් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව වාර්තාවන අතර මෙවැනි ශක්‍යතා අධ්‍යන වාර්තාවක් සැකසීමට ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක පමණ මුදලක් වැයවනු ඇතැයි ද පැවසේ. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 227කට ආසන්න මුදලක්)

මේ සම්බන්ධයෙන් 2008 වසරේදී (මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ) ශක්‍යතා අධ්‍යනයක් සිදුකර වාර්තාවක් සකසා ඇති අතර ඉන් පසුව මෙය ඉදිකිරීමට සැලැසුම් කර තිබූ භූමියේ මෙන්ම තාක්ෂණයේද විශේෂ වෙනස්වීමක් සිදු නොවී තිබියදී අලුතින් තවත් ශක්‍යතා අධ්‍යනයක් කිරීම මුදල් නාස්ති කිරීමක් බව කේෂත්‍ර ප්‍රවීනයෝ ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසූහ.

කෙසේවුවද, අමාත්‍යවරයා අදාළ නව පිරිපහදුව හම්බන්තොට හෝ ත්‍රීකුණාමලයේ ඉදිකිරීම සම්බන්ධයෙන්ද අධ්‍යනයක් කළ යුතු බව කියා සිටින අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ එම ස්ථානවල මේ පිරිපහදුව ඉදිකළහොත් නැවත කොළඹට ඉන්ධන ප්‍රවාහනය කිරීමට කුඩා නැව් හෝ ඉන්ධන බවුසර යොදා ගැනීමට සිදුවන බැවින් ඉන් සිදුවන්නේ ප්‍රවාහන වියදම් වැඩිවීම පමණක් බවයි.

වසර 2015 න් පසුව සපුගස්කන්ද වත්මන් තෙල් පිරිපහදුවට ආසන්නයේම ඇති අක්කර 63ක භූමියක නව පිරිපහදුව ඉදිකිරීමට පිඹුරුපත් සකස් කර තිබිණි.

ඒ අනුව build-operate-transfer (BOT) ක්‍රමවේදය යටතේ මෙය ඉදි කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමට ද එවකට සිටි රජය කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබිණි.

අදාළ පිරිපහදුව ඉදිකිරීමෙන් පසුව වසර 20ක කාලයක් එම ඉදිකිරීම සිදුකරනු ලබන සමාගම විසින් එහි ලාභය ලබා ගන්නා අතර, එම කාලය තුළ ඉන්ධන මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ගිවිසුමකට බැඳිය යුතුවේ.

කෙසේවුවද, මෙම ඉදිකිරීම සඳහා විදෙස් ආයෝජකයින් එතරම් උනන්දුවක් දක්වා නොමැති අතර චීන සමාගමක් පමණක් මේ සඳහා උනන්දුවක් දක්වා ඇත. මෙසේ මේ සඳහා වැඩි උනන්දුවක් නොදැක්වීමට හේතුවී ඇත්තේ අදාළ පිරිපහදුව ඉදිකිරීමට ඩොලර් බිලියන 2ක පමණ ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍ය බැවිනි.

මේ නව පිරිපහදුව චීන සමාගමක් විසින් ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ එවක සිටි උසස් නිලධාරීන්ගෙන් විරෝධයක් මතුවීම නිසා එහි කටයුතු පස්සට තල්ලුවූ බවද පැවසේ.

ඒ මෙය තරමක සියුම් ඉදිකිරීමක් බැවින් ඔවුන්ගේ අදහස වී ඇත්තේ ඇමරිකානු, යුරෝපීය සංගමයේ රටක හෝ දකුණු කොරියානු සමාගමක් මෙය සිදු කිරීම වඩාත් යෝග්‍ය බවයි.

මෙවැනි ඉදිකිරීමක් වසර 50කටත් වඩා වැඩි කලක් පවතින අතර සපුගස්කන්දේ පිහිටි වත්මන් පිරිපහදුව ඉදිකර ඇත්තේ 1967 වසරේදීය.

මේවන විට එමගින් දිනකට තෙල් බැරල් 30,000ක් නිෂ්පාදනය කරන බව පැවසේ. කෙසේවුවද සපුගස්කන්ද පිරිපහදුවේ අපේක්ෂිත ධාරිතාව දිනකට බැරල් 50,000කි.

එය දේශීය ඉල්ලුමෙන් සියයට 25ක් පමණකි.

ඉතිරි 75%ක ප්‍රමාණය විදේශ විනිමය බලපෑම මත ආනයනය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඉරාන බොරතෙල් යෙදීමෙන් අදාළ ඉලක්කය සපුරාගත හැකි බව පැවසෙන අතර, ඉරාන බොරතෙල් තහනමත් සමඟ මේවන විට සපුගස්කන්ද පිරිපහදුව සඳහා යොදාගනු ලබන්නේ මර්බන් බොරතෙල්ය (Murban Crude Oil) .

යොජිත පිරිපහදුව කඩිනමින් ඉදිකර ගැනීමට හැකිවුවහොත් ඉන් වසරකට බැරල් මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවද පැවසේ.

එසේම ඉන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වසරක වසරකට ඩොලර් මිලියන 20-30 ත් අතර ඉතිරියක් කරගත හැකි බවද ඛනිජතෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top