Nov 18, 2020

ජනපතිගේ ජායාරූපය FB එකෙන් ඉවත්කරන්නැයි ධනුෂ්කට CIDය කියලා!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ආර්යාව සහ අමාත්‍ය චන්ද්‍රසේන යන මහත්වරුන් සිටින තම ෆේස්බුක් පිටුවේ පලකර තිබූ ඡායාරූපයක් ඉවත්කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) දැනුවූ බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ධනුෂ්ක රාමනායක මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීමට එහි ගොස් ඉන් පිටව යන අවස්ථාවේය.

රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී පරිඝනක අංශයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමක් සිදුකර තිබුණු අතර පසුව සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ අංශයට ඔහුව යොමුකර තිබිණි.

විවිධ ස්ථානවලදී එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සටහන් වී තිබුණත් එය සංස්කරණය නොකරන සත්‍ය ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බවත් ඒ මහතා කියා සිටී.

අදාළ ස්ථානයේ ඡායාරූප නොගන්නා ලෙස එහි සිටි පිරිසට ජනාධිපතිවරයා දන්වා තිබියදී එහි සිටි අයකු විසින් මේ ඡායාරූපය ගෙන ඇති බවත්, එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැන්වූ බවද රාමනායක මහතා මාධ්‍යට පවසා තිබිණි.

රාමනායක මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවේ පළමුවතාවට බවද ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
වීඩියෝ අනුග්‍රහය - නිවුස් හබ්

FB ප්‍රචාරයකට JVP ක්‍රියාකාරියෙක් අත්අඩංගුවට

මේ අතර ලංකාවේ මහා මාර්ගවල කොවිඩ් රෝගීන් මියයන බවට සමාජ ජාලා ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ බවට වන චෝදනාවක් මත ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩුගන්නාවේදී හා හන්තානේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අසත්‍ය පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීම සංවිධානාත්මක පිරිසක් විසින් කර ඇති බවත්, ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ සිටින දෙදෙනකු මෙයට සම්බන්ධවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයා කළුතර පදිංචිකරුවකු බවද පැවසේ.

රට පුරා යාචකයන් ඇතුළු පුද්ගලයන් කොවිඩ් හේතුවෙන් මහ මග මියගොස් ඇතැයි මෙම කණ්ඩායම් ප්‍රචාරය කර තිබුණද ඒ ඇසුරෙන් මියගොස් තිබුණේ කොල්ලුපිටියේ යාචකයකු පමණක් බවද පොලිසිය කියයි.

ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ සිට එසේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය දෙදෙනා ගැන ජාත්‍යන්තර පොලිසියේ සහාය මත විමර්ශන ඇරඹීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව පැවසේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top