Nov 20, 2020

CIDය අත්අඩංගුවට ගත් පොහොර සමාගමේ හිටපු සභාපතිට ඇප!

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති රොෂාන් වඩුගේ මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් සයායිස් මහතා ඊයේ (19) නියෝග කළේය.

ලංකා පොහොර සමාගමේ දියර පොහොර මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 900 ක (රුපියල් කෝටි 9 ක) මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර හිටපු සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලීමක් කළ ද බන්ධනාගාරවල මේ දිනවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති නිසා ඔහුට මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීමට තීරණය කළේය.

කෙසේවුවද, සැකරුවට විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

පසුගිය රජය සමයේ ලංකා පොහොර සමාගමේ දියර පොහොර මිලදී ගැනීමේදී මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවූ බවට හිටපු සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබිණි.

මීට දින කිහිපයකට පෙර ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ලංකා පොහොර සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී මෙම දියර පොහොර සිද්ධිය සම්බන්ධයෙන් සමාගමේ බලධාරීන් ඇමැතිවරයා දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු සභාපතිවරයා ඊයේ (19) අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top