Nov 20, 2020

දැවැන්ත ටයර් කම්හලක් හදන්න චීනයෙන් ඩොලර් මිලියන 300ක්

මෙරට දැවැන්ත ටයර් නිෂ්පාදන කම්හල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඩොලර් මිලියන 300ක ආයෝජන වටිනාකමකින් යුත් ආයෝජන ගිවිසුමකට චීනයේ ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදන සමාගමක් සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ (19) වැනිදා අත්සන් තැබීය.

ටයර් නිෂ්පාදන හා අපනයන ක්‍ෂේත්‍රයට නව මං පෙත් විවර කරමින් ශ්‍රී  ලංකා ආයෝජන  මණ්ඩලය ලොව ප්‍රමුඛ ටයර් නිෂ්පාදන සමාගමක් වන චීනයේ  Shandog Haohua Tyre Co.Ltd  සමාගම සමග ටයර් නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම සඳහා මෙලෙස ගිවිසුම් ගත විය.

සම්පූර්ණයෙන් ම අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය වන අතර අර්ධ වානේ සහ වානේ රේඩියල් ටයර් නිපදවීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ. බස් සහ ට්‍රක් වැනි බර වාහන ප්‍රමුඛ ඉලක්කයන් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කාර්මික කලාපය (HIP’s Industrial Park) තුළ අක්කර 121ක භූමියක් ලබාදී ඇත.

මේ තුළින් ඍජු රැකියා 2000කට වැඩි ප්‍රමාණයක් ජනිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ආයෝජන ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, ආයෝජන සමාගම වෙනුවෙන් Cao Mingzhang සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය වෙනුවෙන් Xu Jiancum යන මහත්වරු අස්සන් තැබූහ.

මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී  ලංකාවේ චීන තානාපති සහ චීනයේ සිට Shandong Haohua Tyre Co.Ltdසමාගමේ සභාපති එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top