Nov 21, 2020

හැටෙන් ගියොත් තරුණයන්ට රැකියා ප්‍රශ්න Featured

අයවැයේ යෝජනාව අනුව පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මේවන විටත් සියයට 18ක් වන මෙරට තරුණ විරැකියාව තවදුරටත් ඉහළ යනු ඇති බව නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය සඳහන් කරයි.

නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර සිය වයස්ගත සේවකයන් අපේක්ෂිත කාලයට වඩා දිගු කලක් සේවයේ තබා ගැනීමට අවස්ථාව පවතිනවාද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එම සංගමය ජනාධිපතිවරයාට සහ තවත් පාර්ශ්ව කිහිපයකට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දී තිබේ.

වයස්ගතවීමේ දී තම සුරක්ෂිතභාවය ඇතුළු මූල්‍ය ආරක්ෂණයේ වැදගත්කම මෙරට ඉහළ තත්ත්වයක පවතින බව දන්නා බවද ඒ හේතුවෙන් නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට පෙර රජය ඊට අදාළ නිසි තොරතුරු පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවද නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය විසින් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කරයි.

රැකියා ලක්ෂයයෙන් 34,000ක් දී අවසන්

පසුගිය අවුරුද්ද තුළ රැකියා ලක්ෂයක් දෙන වැඩපිළිවෙලින් 34,000කට දැනටමත් රැකියා ලබා දී අවසන් බවද රැකියා විරහිත උපාධිධාරීන් 60,000කට ආණ්ඩුවේ රැකියා දෙන්න පියවර ගෙන තිබෙන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට රැකියා විරහිත පුද්ගලයින්ට පෞද්ගලික අංශයේ රැකියා ලබාදීම සදහා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙලක් ද මේ වන විට ආරම්භ කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top