Jan 11, 2021

හොරාට ඉන්න නයිජීරියානු අපරාධ කල්ලියක් සොයා මෙහෙයුම්

පරිගණක ආශි්‍රත අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙමින් වීසා රහිතව මෙරට තැන් තැන්වල රැඳී සිටින නයිජීරියානු ජාතිකයන් 40 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත හා ඒ ආශි්‍රත තදාසන්න ප්‍රදේශ තුළ නිවෙස්වල කාමර හා හෝටල්වල රැඳෙමින් නොයෙකුත් ආකාරයේ කූට ජාවාරම්වල යෙදෙමින් හා වංචා සහගතව මිනිසුන් රවටමින් විවිධ අපරාධ කරමින් සැඟව සිටින මෙම නයිජීරියානුවන් සමඟ සබඳතා පවත්වමින් ගිණුම් විවෘත කර ඇති ශ්‍රී  ලාංකිකයන්ද සොයා ගැනීම මෙම පරීක්‍ෂණයේ අරමුණ බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

මෙවැනි අපරාධ කිරීමට මොවුන් බොහෝ සෙයින් පෙලැඹී ඇත්තේ වසරකට වැඩි කාලයක් තිස්සේ කොරෝනා වසංගතය නිසා යළි මවු රටට යෑමට නොහැකිවීමත් ඔවුන් වැඩි පිරිසක් හෙරොයින්, අබිං, අයිස් හා කොකේන් වැනි මත්ද්‍රව්‍යවලට පුරුදු වීමත් නිසා ඊට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා බවත් වාර්තා වේ.

මොවුන්, පුද්ගලයන් රවටා මුදල් ගෙන්වා ගන්නේ ශ්‍රී  ලාංකිකයන්ගේ ගිණුම්වලට බව පවසන විමර්ශන කණ්ඩායම්, නයිජීරියානුවන් සමඟ හිතවත් වී, ගමන් බිමන් යමින් ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝමයක් මොවුන්ගේ දැලට දැන හෝ නොදැන හෝ හසු කරගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී  ලංකාව තුළ නයිජීරියානුවන්ගේ ක්‍රියාකලාපය ආශි්‍රත අපරාධවල ප්‍රවණතාවක් දක්නට ලැබෙන නිසා මොවුන් කොටුකර ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top