Jan 13, 2021

ටෙලිකොම් ඉඩම් චීනයට දෙන්නෙ නෑ - ටෙලිකොම් සභාපති Featured

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ලාංඡන වෙනසට සතයක්වත් වියදම් නොවූ බව එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඔහු කියා සිටියේ එම වෙනස මගින් රුපියල් මිලියන 700ක් පමණ ටෙලිකොම් ආයතනයට ඉතිරිකර දීමට හැකිවූ බවයි.

එම ලාංඡන වෙනස සිදු කිරීමට හා ටෙලිකොම් ප්‍රවර්ධනය සඳහා පසුගිය වසරේ මැයි මාසයේදී යෝජනා කැඳවූ බවත් ඒ අනුව හොඳම යෝජනාව ඉදිරිපත් කළ ෆීනික්ස් ආයතනය තෝරාගත් බවත් ඔහු කියා සිටියේය.

මේ වසරේදී වියදම රුපියල් මිලියන 1,300කින් අඩු කිරීමට හැකිවී ඇතැයි ද ඔහු පැවසීය.

ඉඩම් චීනෙට දෙන්නෙ නෑ

ශ්‍රී ලංකා ටෙලිකොම් හි කොටුවේ පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ල චීන සමාගමකට විකිණීමට යන බවට පලවන වෙබ් පුවත් සම්බන්ධයෙන් ද අප විමසා සිටි අතර ඔහු කියා සිටියේ එම පුවත් අසත්‍ය ඒවා බවයි.

ටෙලිකොම් සතු කොටුවේ ඉඩම අක්කර 6ක් බවත්, එහි ඇති පැරණි ගොඩනැගිල්ල සංස්කෘතික උරුම යටතට ගැනෙන්නක් බැවින් එහි කිසිදු වෙනසක් කිරීමට සිය සමාගමට හෝ අවසරයක් නැති බවද රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කෙසේවුවද, කොටුවේ පිහිටි ටෙලිකොම් මූලස්ථාන ඉඩමේ දැනට නව ගොඩනැගිලි ඉදිකර ඇති අක්කරයක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට සැලැසුමක් ඇති බව පැවසූ ඔහු ඒ සඳහා විදෙස් ආයෝජකයකු සොයාගැනීමට සිදුවනු ඇතැයි ද පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි බිලියන 53ක් වූ ණය ප්‍රමාණය තමා සභාපති වීමෙන් පසුව බිලියන 44ක් දක්වා අඩුකර ගැනීමට හැකිව ඇති බවද සඳහන් කළේය.

කොටසතු නැගලා

මේ අතර, කොළඹ කොටස් වෙළඳ පොළේ ටෙලිකොම් කොටස් ද ඉහල නැග ඇති බව කී සභාපතිවරයා එය 21 සිට 38 දක්වා වර්ධනය වී ඇති බවද කීය.

වසර 2023 වන විට ටෙලිකොම් මූලස්ථානය ඇතුළු එම ගොඩනැගිල්ල චීන වරාය කොටසට අයත්වන පරිදි ලබාදීමට සූදානම්වන බවට වෙබ්අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.

ඒ අනුව වසර ගණනාවක සිට ටෙලිකොම් (one to one call center) 121 හදිසි ඇමතුම් සේවකයින් ඉන් ඉවත් කොට එම ස්ථානයේ ඇති දුරකථන අලුත්වැඩියාවන්, හදිස්සි බිඳ වැටීම් පිළිබඳව පරික්ෂා කරනු ලබන මෙහෙයුම් මැදිරිය වැලිකඩ වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ටෙලිකොම් සභාපතිවරයාට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇති බවද දක්වා තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top