Jan 13, 2021

Crysbro නිෂ්පාදන ක්‍රියාවලියේ සේවකයකුට කොරෝනා: තොරතුරු සඟවලා Featured

ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් (Crysbro) නිෂ්පාදනය කර බෙදාහරින FARM’S PRIDE (PVT) LIMITED ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටි සේවකයකුට කොඩිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අදාළ ආයතනය සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බව වාර්තා වේ.

එසේම එම අවස්ථාවේ සිදුකරමින් තිබූ නිෂ්පාදන විනාශ කර දැමීමක්ද අදාළ ආයතනය සිදු කර නොමැති බව වාර්තා වේ. මේවන විට අදාළ නිෂ්පාදන මෙරට සෑම දිස්ත්‍රික්කයකටම බෙදා හැර ඇති බවද පැවසේ.

මෙම සේවකයාගේ ආශ්‍රිතයන් 34 දෙනෙකු හඳනාගෙන තිබී ඇති අතර, ඔවුන් ස්වයං නිරෝධායනයට ද ලක්කර ඇති බව පැවසේ.

ආහාර සම්බන්ධයෙන් කටයුතු කරණ මෙරට අනෙකුත් පෞද්ගලික ආයතන සිය සමාගම්වල සේවය කරනු ලබන අය කොරෝනා ආසාදිතයන් බවට පත්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කර මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලැබිණි.

PHI ගේ තහවුරු කිරීම

මේ සම්බන්ධයෙන් අප ගම්පොළ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස්ලි ප්‍රසිදස් (Lesley Prasidas) මහතාගෙන් විමසීමක් කළ අතර පසුගිය 30/31 අතර කාලයේදී ක්‍රිස්බ්‍රෝ සමාගමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගත් බව ඔහු තහවුරු කළේය.

එසේ හඳුනාගත් අය ක්‍රිස්බ්‍රෝහි කාර්යාලයේ රැස්වීමකට සහභාගිවී ඇති බවත්, එම රැස්වීමට පැමිණි අයට නිරෝධායනයවීමට උපදෙස් ලබාදුන් බවද ඔහු කියා සිටියේය.

මේ අතර, එම ආයතනයේ සේවකයන් PCR පරීක්ෂණයක් සඳහා පසුගිය 09 වැනිදා යොමු කළ බවද කී ඒ මහතා මෙතෙක් ඔවුන්ගේ වාර්තා ලැබී නොමැති බවද සඳහන් කළේය.

එම ආයතනයේ කාර්යාලයත් නිෂ්පාදනාගාරයත් අතර ඇත්තේ යාර 500 ක පමණ දුරක් වුවද, මෙම රෝගියා හමුවීමෙන් පසුව එහි නිෂ්පාදනාගාරය වසා දැමුණේ එක් දිනකට පමණක් බවද පැවසේ.

ලොක්කන්ට උත්තර නෑ...

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු අමෝරේස් සෙලර් (Amores Sellar) මහතා හා එහි අධ්‍යක්ෂ එම්. ශෆීක් සමාද් (M. Shafeek Samad) යන මහත්වරු දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

මොවුන්ගෙන් මේ සම්බන්ධයෙන් අප කෙටි පණිවුඩ ඔස්සේද විමසීමක් කළ අතර ඔවුන් පුවත පලවනතෙක් ඒ සඳහා පිළිතුරු ලබාදීමට ඉදිරිපත් නොවුණි.

ක්‍රිස්බ්‍රෝ යුද හමුදාවට කුකුළු මස් නිෂ්පාදන සපයන ආයතනවලින් එකක් වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top