Jan 16, 2021

නන්දනගේ ටයර් කොම්පැණිය විවෘත කිරීම විදුර මගහැරියේ ඇයි? Featured

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය ආසනය වන හොරණ ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල බව කියන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ” (Ferentino Tyre Corporation- PVT Ltd) විවෘත කිරීමට හොරණ පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරයා මෙන්ම සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයාද වන විදුර වික්‍රමනායක මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව ඇතැයි වාර්තා වේ.

එම උත්සවයට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහභාගිවී සිටියහ.

කෙසේවුවද, අදාළ උත්සවයට සහභාගි නොවුණ වික්‍රමනායක මහතා ඊට පසු දින (15) කන්දෙ විහාරේ පැවැති රතන සූත්‍ර දේශනාවට සහභාගිවී සිටි බව පැවසේ.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක ඉදිකරණ ලද මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි.

යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් මෙහි නිෂ්පාදනය සිදුකෙරෙන අතර මේ සුවිශාල ආයෝජනය සිදු කරන ලද්දේ ශ්‍රීලාංකික ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන මහතා විසිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top