Jan 17, 2021

මිරර් කතාව Crysbro තහවුරු කරයි; ආසාදිතයන් ගණන ඉහල ගිහින්? Featured

සිය කාර්යමණ්ඩල සාමාජිකයකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීමෙන් පසුව සිදු කළ පරීක්ෂණයකින් පසු එම සේවකයා කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගත් බව ක්‍රිස්බ්‍රෝ (Crysbro) කුකුල් මස් නිෂ්පාදන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඊයේ (16) නිකුත් කළ නිවේදනයේ පසුගිය දෙසැම්බර් අගභාගයේදී මෙය සිදුවූ බව දක්වා ඇතත්, සිය සේවකයාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු කරගත් දිනය දක්වා නොමැත.

සිය ආයතනය අභ්‍යන්තරයේ සිටින කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය අධිකාරියේ සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉමහත් සහයෝගය ඇතිව එම රෝගය පැතිරීම පාලනය කිරීමට ක්ෂණික පියවර ගත් බවද එහි වැඩිදුරටත් දැක්වේ.
ක්‍රිස්බ්‍රෝ (Crysbro) සම්පූර්ණ නිවේදනයCrysbro reiterates safety

අපි කියනකන් කිව්වේ නෑ

ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් (Crysbro) නිෂ්පාදනය කර බෙදාහරින FARM’S PRIDE (PVT) LIMITED ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටි සේවකයකුට කොඩිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව මුළින්ම වාර්තා කරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් අප වෙබ් අඩවිය විසිනි.

පසුව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සමාජ මාධ්‍ය වෙත මේ පිළිබඳව අදහස් දක්වමින් කොඩිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අදාළ ආයතනය සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බව වාර්තා වේ.

එසේම එම අවස්ථාවේ සිදුකරමින් තිබූ නිෂ්පාදන විනාශ කර දැමීමක්ද අදාළ ආයතනය සිදු කර නොමැති බව වාර්තා වේ. මේවන විට අදාළ නිෂ්පාදන මෙරට සෑම දිස්ත්‍රික්කයකටම බෙදා හැර ඇති බවද පැවසේ.

මෙම සේවකයාගේ ආශ්‍රිතයන් 34 දෙනෙකු හඳනාගෙන තිබී ඇති අතර, ඔවුන් ස්වයං නිරෝධායනයට ද ලක්කර ඇති බව පැවසේ.

ආහාර සම්බන්ධයෙන් කටයුතු කරණ මෙරට අනෙකුත් පෞද්ගලික ආයතන සිය සමාගම්වල සේවය කරනු ලබන සේවකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කර මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලැබිණි.

නිවේදනය ආවේ සිද්ධියෙන් දින 16කට පසුවයි!

කෙසේවුවද, අප අදාළ තොරතුරු හෙළිකරන තෙක් ක්‍රිස්බ්‍රෝ ආයතනය මේ බව නිවේදනය නොකළ අතර ඔවුන් අදාළ නිවේදනය කරනු ලැබුවේ සිද්ධියෙන් දින 16 කට පසුවය.

ගම්පොළ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස්ලි ප්‍රසිදස් (Lesley Prasidas) මහතා පසුගිය 30/31 අතර කාලයේදී ක්‍රිස්බ්‍රෝ සමාගමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගත් බව ශ්‍රී ලංකා මිරර් වෙත සඳහන් කළේය.

ආහාර සමඟ කොරෝනා යනවා !

මේ අතර, උතුරුදිග චීනයේ ටියැන්ජින් මහ නගර සභා බලධාරීන් විසින් Covid-19 සහිත අයිස්ක්‍රීම් සොයාගෙන ඇති බවට තහවුරු කිරීමත් සමඟ මේ වෛරසය ආහාරවලින්ද ආසාදනය විය හැකි බවට අවදානමක් මතුව තිබේ.

Tianjin Daqiaodao Food Co., Ltd. ආහාර සමාගම විසින් නිෂ්පාදිත අයිස්ක්‍රීම් සාම්පල 3ක Covid-19 වෛරසය අන්තර්ගත බව තහවුරුව තිබිණි.

මෙම අයිස්ක්‍රීම් සඳහා නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටි සහ යුක්‍රේනයෙන් ආනයනය කරන ලද කිරි මෝරු (whey) භාවිතා කර ඇති බව වසංගත රෝග විශේෂඥයන්ගේ මූලික පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්විණි.

ක්‍රිස්බ්‍රෝ පොකුර වැඩි වෙලාද?

මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියා සිටින්නේ ක්‍රිස්බ්‍රෝ හි තවත් සේවකයන් කිහිප දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවයි.

එම කර්මාන්ත ශාලාව මේවන විට ද ක්‍රියාත්මකව පවතින බැවින් අප මේ සම්බන්ධයෙන් ගම්පොළ උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වන වෛද්‍ය එම්.එච්.එම්. නසාන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඔහුගේ බල ප්‍රදේශය තුළ සිටින්නේ ක්‍රිස්බ්‍රෝ හි එක් සේවකයකු පමණක් බවයි.

එසේම, ගම්පොළ උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ගැමුණු මහතාගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසූ අතර විනාඩි 15කින් අදාළ තොරතුරු ලබාදෙන බව පවසා ඔහු දුරකථනය විසන්ධි කළ අතර ඉන් පසුව පුවත පලවන තෙක්ම දුරකථනයට පිළිතුරු ලබා නොදුන්නේය.

පසුව අප ඔහු වෙත තොරතුරු විමසා කෙටි පණිවුඩයක්ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා පිළිතුරු නොලැබිණි.

නම නැති ක්‍රිස්බ්‍රෝ

මේ අතර, කීල්ස් සුපිරි වෙළඳසැල ඇතුළුව සුපිරි වෙළෙඳසැල්වල ලූස් කුකුළු මස් ලෙස විකිණීමට ඇති "ගෝල්ඩන් යෙලෝ චිකන්” සපයනු ලබන්නේද ක්‍රිස්බෝ සමාගම විසින් බව වාර්තා වේ.

මෙම කුකුළු මස් විකිණීමේදී එම සුපිරි වෙළෙඳ සැලවල් ක්‍රිස්බ්‍රෝහි වෙළඳ නාමය භාවිත කරනු නොලබයි.

සබැඳි පුවත්
Crysbro නිෂ්පාදන ක්‍රියාවලියේ සේවකයකුට කොරෝනා: තොරතුරු සඟවලා

"Crysbro වගකීම් විරහිතව කටයුතු කරලා; ප්‍රකාශයක් කරන්න; නැත්නම් වටලනවා”

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top