Jan 22, 2021

සංචාරකයින් ගණන PCR පරීක්ෂණ ගණන අනුව තීන්දු වෙයි  Featured

මෙරටට දිනකට පැමිණෙන සංචාරකයන්ගේ ගණන තීරණය වන්නේ PCR පරීක්ෂණ ධාරිතාව මත බව මෙරට සංචාරක බලධාරීන් පවසයි.

පසුගිය වසරේදී ඇරඹුනු කොවිඩ්-19 වසංගතය හමුවේ වැසී ගිය ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලවල් ඊයේ (21) දිනයේදී විදෙස් සංචාරකයන් හට යළි විවෘත වූ අතර, මේ සම්බන්ධයෙන් කොළඹ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණි.

එම මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ මෙරටට පැමිණෙන්නන් හට සිදුකරන PRC පරීක්ෂණ ධාරිතාවේ වැඩිම ප්‍රමුඛතාවය ලබාදෙන්නේ මෙරටට යළි පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හට බවත්, විදෙස් සංචාරකයන්ගේ පැමිණීමෙන් මේ සඳහා බලපෑමක් ඇති නොවන ලෙස දෛනික සංචාරකයන් ගණන තීරණය කර ඇති බවත්ය.

මේ අනුව, දිනකට සංචාරකයන් 2,500ක් පිළිගැනීමට හැකි බවත්, මෙම සංඛ්‍යාව සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් අධීක්ෂණය කරනු ඇති බවත් ඇය පැවසීය.

සංචාරක, හෝටල්කරුවන් සහ සංචාරක නියෝජිතයින්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් ඒ පිළිබඳව කරදර වීමට අවශ්‍ය නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතිබවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට උපදෙස් දෙනු ලැබේ.

නිශ්චිත ඉලක්කයක් නොතිබුණද, දිනකට සංචාරකයන් 2,500 ක සීමාව තුළ 2021දී සංචාරකයින් මිලියනයක් පැමිණීමේ හැකියාවක් ඇති බවද ඇය කීවාය.

  • සංචාරක වීසා 75ක් ; පිරිවැය ගැන ගැටළු?

ඊයේ මුල් පැය කිහිපය ඇතුළත ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, මැදපෙරදිග සහ චීනය යන රටවල සංචාරකයින් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා බලපත්‍ර 75 ක් නිකුත් කර ඇති බවද ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

තරමක ඉහළ පෙරවියදම් පිළිබඳව ප්‍රශ්ණ මතුවුවත්, වර්තමාන සෞඛ්‍ය නීතිරීති මත, යොදවා ඇති ක්‍රමවේද අවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.

එක් PCR පරීක්ෂණයක් සඳහා රු. 7,500ක මිලක් ලබාගැනීමට පෞද්ගලික රෝහල් හා ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් විසින් එකඟතාවයකට පැමිණ ඇති අතර, සංචාරකයන් හට ඩොලර් 12 ක කෝවිඩ් -19 රක්ෂණ ආවරණයක් ලබාගත යුතුවේ. මෙම රක්ෂණාවරණය මගින් රු. 50,000 ක් දක්වා වූ ගිලන්රථ ගාස්තු, රෝහල්ගතකිරීමේ ගාස්තු හා අවමංගල වියදම් ආවරණය කෙරේ.

  • මාස 6-7 ක් තුළ සංචාරක පැමිණීම යථා තත්වයට

ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ මාස 6-7 ක් අතර කාලයක් තුළදී සංචාරකයින්ගේ පැමිණීම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

කෙසේවෙතත්, මෙරටින් විදෙස් රටවලට ගමන් කරන සංචාරකයන් (outbound travellers) සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති බවත් ඔහු පැවසීය.

මේ අතර, යළිත් මෙහෙයුම් ඇරඹීමට කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකාවට පියාසර කළ සියලුම ජාත්‍යන්තර ගුවන් සමාගම් මේ වන විට එකඟවී ඇති බවද ඔහු පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top