Jan 27, 2021

චීනයෙන් ලංකාවට කොවිඩ්-19 එන්නත් ලක්ෂ 3ක පරිත්‍යාගයක්

COVID-19 රෝගයට ප්‍රතිකාර සඳහා නිෂ්පාදනය කළ එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

මෙලෙස පරිත්‍යාග කරනු ලබන්නේ චීනයේ ජාතික  ඖෂධසමූහ සමාගම (සීනෝෆාර්ම්) විසින් නිපදවූ එන්නතයි.

ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී  කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එම එන්නත් තොගය පෙබරවාරි මස මැද භාගයේදී ශ්‍රී ලාංකික පාර්ශ්වයට භාරදීමට අපේක්ෂා කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සර්බියාව, ඊජිප්තුව, බහරේනය, ජෝර්දානය, ඉරාකය, පාකිස්තානය සහ චීනය වැනි රටවල මහජන භාවිතය සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවත්  ජනවාරි 26 වන විට ලොව පුරා සීනෝෆාර්ම් එන්නත  මිලියන 20 කට අධික ප්‍රමාණයක් එන්නත් කර ඇති අතර බරපතල අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ. සීෂෙල්ස් ජනාධිපති, බහරේන් අගමැති, ජෝර්දාන් අග්‍රාමාත්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති සහ අගමැති සහ සර්බියානු සෞඛ්‍ය ඇමති ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් රැසක් මෙම එන්නත ලබාගෙන තිබෙන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

ඉන්දියාවෙන් එන්නත් තොගය හෙට කටුනායකට

මේ අතර, අද (27) පෙරවරුවේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා වන කාර්යයසාධක බලකායේ ප්‍රධානී - ලලිත් වීරතුංග පවසා සිටියේ ඉන්දියාව විසින් ප්‍රදානය කරනු ලබන කොවිඩ් එන්නත් තොගය රැගත් යානය හෙට (28) කටුනායක ගුවන්තොටුපොලට ළඟාවීමට නියමිත බවයි.

මින් පෙර ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක් අනූව ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත වන්නේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙහි නිපදවන මෙම ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා කොවිශීල්ඩ් නම් වන එන්නතයි.

හෙට පෙ.ව. 11.00ට මෙම එන්නත් තොගය, ඉන්දීය මහකොමසාරිස්වරයා අතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබාදීමට නියමිත බවද ඔහු පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top