Feb 23, 2021

කොරෝනා එන්නත් මිලියන 13.5ක් මිලට ගන්න කැබිනට් අනුමැතිය Featured

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ තවත් මාත්‍රා මිලියන 13.5 ක් මිලට ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එමෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් ඝෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

වන අලි කළමනාකරණ ගැසට් නිවේදනයට කැබිනට් අනුමැතිය

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාල මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු භූමියක් යෝජිත රක්ෂිතය සඳහා හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ගොවීන්ට ඉහළ මිළක් ලැබෙන පරිදි වී මිලට ගන්න කැබිනට් අනුමැතිය

2020 සහ 2021 වසර සදහා නියමිත මහ කන්නයේ වී මිළදී ගැනීමේ වැඩසටහනේ ප්‍රගතිය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් සමාලෝචනය කර තිබේ.

ඒ අනූව පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් ගොවීන්ට ඉහළ මිළක් ලබා දී වී මිළදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

කෙසේවෙතත් නාඩු සහල් කිලෝවක මිළ ඉදිරියේදී රුපියල් 98 ක් වශයෙන් කිසිදු වෙනසක් සිදු නොකර පවත්වා ගෙන යාමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක්

ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අයෝජන කළමනාකරණ කමිටුව නමින් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ ජාත්‍යන්තර ආයෝජකයින්ට දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඔවුන්ගේ උනන්දුව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුවීම හේතුවෙනි.

පොලිසියට ත්‍රීරෝද රථ 2,000ක් ගන්න අනුමැතිය

ශ්‍රී ලංකා පොලිසිය වෙත ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමිවී තිබේ.

රාජකාරී නිසි ලෙස ඉටු කිරිමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම පිණිස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top