Mar 04, 2021

ලංකාව කොදෙව්වන්ටත් පරදියි; පොලාඩ් - අකිල වාර්තා අතරට Featured

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්සේදී ලකුණු 131 ක් ලබා ගත්තේය.

පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු අතර ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 39 ක්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 13.1 කදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කිරන් පොලාඩ් සහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අකිල ධනංජය පන්දුවාර විස්සයි - 20 නව වාර්තා දෙකක් තැබීම කැපී පෙනුනි.

අකිල ධනංජය යැවූ පන්දුවාරයකදී කිරන් පොලාඩ් හයේ පහර 6 ක් එල්ල කිරීමට සමත් වූ අතර ඒ අනුව පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා අතරට තරගයකදී 6 පහර 6 ක් එල්ල කළ 3 වැනි ක්‍රීඩකයා බවට පත් විය.

වසර 2007 දී හර්ෂල් ගිබ්ස් හා එම වසරේදීම යුවරාජ් සිං මේ දස්කම පොලාඩ්ට පෙර දක්වා තිබිණි.

එමෙන්ම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට අකිල ධනංජය අද සමත් වූ අතර එය 20 – 20 තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කඩුලු ත්‍රිත්වයක් දවා ගත් තුන්වන අවස්ථාව වේ.

අකිල පන්දුවාර විස්සයි - 20 තරගයක කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලෝකයේ 13 වැනි ක්‍රීඩකයාය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි - 20 තරගය අනිද්දා (06) පැවැත් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top