Mar 09, 2021

කොරෝනා පාලනය වුණේ එන්නත නිසාම නෙමෙයි Featured

මේ වනවිට රට තුළ කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්ත වීම යම් සැලකිය යුතු මට්ටමකට පාලනය වී තිබෙන බවත් මෙය කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසා නොව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම නිසා සිදුවූ දෙයක් බවත් වසංගත රෝග නිවාරණ හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසා කොවිඩ් - 19 පැතිර යෑම පාලනය වූ බව වාර්තා වීමට තවත් ටික දිනක් යන බවත් එම තත්ත්වය ඇතිවීම සඳහා එන්නත ලබාදිය යුතු පුද්ගලයන්ගෙන් අවම වශයෙන් 60%කටවත් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් පසුව එමඟින් රෝග ව්‍යාප්ත වීම පාලනය වීම සඳහා කරනු ලබන බලපෑම කුමක්ද කියා හෙළි කරගත හැකි බවද රාජ්‍ය ඇමැතිනිය විසින් පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අදාළ සියලු කාර්ය මණ්ඩල මෙරට කොවිඩ් - 19 පාලනය කිරීම සඳහා දැඩි කැපවීමක් සිදුකරන බවත් කොවිඩ් මර්දන එන්නතද සැලකිය යුතු පිරිසකට ලබාදුන් පසුව තවදුරටත් කොවිඩ් _ 19 රෝග ව්‍යාප්තිය පාලනය වන බවද රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

මේ වනවිට තවත් එන්නත් 2,64,000ක් පෙරේදා (07) වැනිදා ඉන්දියාවෙන් ලැබුණු බවත් ඇණවුම් කර තිබෙන ආකාරයට තවත් එන්නත් තොග කඩිනමින් මෙරටට ලැබීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top