Mar 04, 2017

'රණවිරුවන් දඩයමට මම සූදානම් නැහැ' - ජනාධිපති

විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පවසන ආකාරයට ආණ්ඩු කිරීමටවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ පලාලි ගුවන් හමුදා කදවුරේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අනතුරුව ත්‍රීවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් අමතමිනි.

ත්‍රීවිධ හමුදාවන්ට එරෙහිව විදේශීය විනිසුරුවන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.

මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත් පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා එල්ල කළ ද මේ රටේ හමුදාවේ ප්‍රධාන ආරක්ෂකයා තමා බව ජනාධිපතිවරයා පවසා සිටියේය.

හමුදා සාමාජිකයින්ගේ ගෞරවයට හානිවන කිසිඳු ආකාරයේ ක්‍රිරයාකාරකමකට තම ධුර කාලය තුළ ඉඩ නොලැබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top