Apr 08, 2021

පොහොට්ටු මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක් ; පොලිස් ආරක්ෂාවත් දීලා

පාදුක්ක සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

එම සංවර්ධක කමිටු රැස්වීම පැවති අවස්ථාවේ දී එහි සභාපති ජගත් කුමාර මහතා සහ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිව තිබෙන අතර පසුව සභාපතිවරයා සංවර්ධන කමිටු රැස්වීම අතරමඟ නවතා ඉන් පිටව යද්දී ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම මන්ත්‍රී ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රාධානත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.

සභාපතිවරයා, සීතාවක ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව ඒකාධිපති ගමනක් යන බවට එහිදී චෝදනාවක් එල්ලවී ඇත.

ජගත් කුමාර මහතා ‘මට ඕනෑ හැටියට තමා කරන්නේ’ යනුවෙන් පැවසීමත් සමඟ මේ බහින් බස්වීම සිදුව තිබේ.

පසුව සභාපතිවරයා කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඉන් පිටව ගොස් ඇත.

සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇති අතර රථයට මෙම බිත්තර ප්‍රහාරය ද එල්ල කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top