Apr 08, 2021

බිස්කට්, බේකරි කෑමට පාම් ඔයිල් දැමීම සමූල ඝාතනයක්- දොස්තර ආනන්ද Featured

පාම් ඔයිල් පිළිකාකාරකයක් වන බැවින් බිස්කට් සහ බේකරි නිෂ්පාදන සඳහා පාම් ඔයිල් භාවිතයට ඉඩ ලබාදීම සමූල ඝාතනයක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියයි.

ඒ මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"පාම් ඔයිල් කියන්නෙ තනිකර ම විසක්. පිළිකාකාරකයක්. නතර කරන්න බෑ. මිනිස්සු මැරිල හරි කමක් නෑ ව්‍යාපාර රැකුණොත්. තෙල් ටික අරන් බැදල කන ආහාර විතරක් නෙවෙයි පාම් ඔයිල් තියෙන්නෙ. ඔබ බලන්න ඔබ ගන්න බිස්කට් පැකට් එකේ බලන්න. ඔබ ගන්න කේක් එකේ බලන්න. ඔය මෝල්ට් කියල විකුණන කිරි පැකට් එකේ බලන්න මොනව ද තියෙන්නේ කියලා. පාම් ඔයිල් තියෙන්නෙ. අපිට මේ කවන්නෙ වස නෙවෙයි ද? ඉතින් අපිට පිළිකා හැදිල මැරෙන එක අහන්න දෙයක්යැ. දවසට 78ක් වාර්තා වෙන්නෙ පරීක්ෂා කරපු පිළිකා රෝගීන්. හොයා ගන්න බැරි තව දාහක් ඇති සමාජය තුළ. මේක සමූල ඝාතනයක් නෙවෙයි ද කියන්නකො. වහ ටිකක් ආවට කමක් නෑ කියල ප්‍රමිති ආයතනයේ ලොක්ක කියනවා නම් මේ රටේ මිනිස්සුන්ට මොන සරණක් ද? දණ්ඩ නීති සංග්‍රහයට අනුව රටේ මිනිස්සුන්ට වස කවන්න බෑ කාටවත්. මේ මිනිස්සු දැන දැන කවනව වස. ඒ කියන්නෙ මේ රටේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය මේ බිඳ වට්ටන්නෙ, කිසිදු ලැජ්ජාවක් නැතුව සල්ලි වෙනුවෙන්.” 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාම් ඔයිල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට නියෝග කළද, බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top