Apr 08, 2021

ඇමති තොණ්ඩාගෙන් ලක්ෂ 6ක පොල්ලක් 

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06කට අධික බව ‘මව්රට' වාර්තා කර තිබේ.

පසුගිය කොරෝනා වසංගත රෝග සමයේ සිට මේ වසරේ පෙබරවාරි මස දක්වා රුපියල් මිලියන 341 ට අධික හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන්  ජල සම්පාදන මණ්ඩලයේ මධ්‍යම පළාත් කොටස අර්බුදයකට ලක්ව ඇතැයි ද පැවැසේ.

මධ්‍යම පළාතේ ආරක්ෂක අංශ රුපියල් ලක්ෂ 38 ක්, මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන රුපියල් මිලියන 11 ක් සහ මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ රුපියල් මිලියන 35 ක් ද වශයෙන් හිඟ ජල බිල්පත් ඒ අතර පවතින බවද වාර්තා වේ.

එම ජල බිල්පත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස අදාළ අංශ හා පුද්ගලයන් වෙත කීප වරක්ම දැනුවත් කළද මේ දක්වාම එම ගෙවීම් නිසි ආකාරව සිදු නොවන බවද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ආකාරයෙන් මෙම මුදල් ගෙවීම් පැහැර හැරියද පසුගිය කොරෝනා සමයේ සිට මේ දක්වා සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් හිඟ මුදල් 85% ක් පමණ ගෙවා ඇති බවද එම මණ්ඩලය කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top