Apr 08, 2021

ජූරි සහ චුලාට පොලිස් ඇප - කිරුළ යළි පුෂ්පිකාට (Update) Featured

අද (08) කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ ප‍්‍රවීන මොස්තර නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන අය පොලිස් ඇප මත නිදහස්කර තිබේ.

සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ජයග්‍රාහි කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වාට ලබාදීමට කටයුතු කළ බව එම විවාහක රූ රැජින තරගයේ සංවිධායකයින් සඳහන් කළේය.

---------- Update - Thursday, 08 April 2021 14:33 ----------

ජූරි සහ චූලා අත්අඩංගුවට පත්වෙයි

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ ප‍්‍රවීන මොස්තර නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන අයව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය ඉරිදා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා විසින් කළ පැමිණිල්ලකට අනුවය.

නෙළුම් පොකුණ රඟහලේ දී පැවති මෙම තරඟයේ ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවැනි ස්ථානය හිමිවූ තරඟකාරියට බවය.ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

සබැඳි පුවත්

ලෝක විවාහක රූ රැජිණ තරගයට යන්නේ පුෂ්පිකා ද? අයිෂා ද?

උඳුරා ගත් රූ රැජින කිරුළ යළි පුෂ්පිකාට

කිරුළ ගලවා කිරුළ පැලැන්දූ අපූරු තරගයක් (වීඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top