Apr 17, 2021

සීගිරිය වනසන්න හදන ලෝක අපරාධයක් ගැන හෙළිදරව්වක් Featured

යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශිත ඓතිහාසික සීගිරි පර්වතය වටා ඇති හරිත පැහැති ස්වාභාවික දර්ශනයට මහත් හානියක් සිදුවන අන්දමින් ඉදිකෙරෙන සුවිසල් සත් මහල් නිවාස සංකීර්ණයක් පිළිබඳ පුවත අප පසුගිය ‘ඉරිදා මව්බිම’ පුවත්පතින් හෙළි කෙරිණි.

මෙම විශාල ගොඩනැගිල්ල ඉදිවන්නේ සීගිරි පව්වට ආසන්නව සහ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඇටසැකිලි හමුවී ඇති පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකෙරෙන පොතන ගුහාවට කි.මී. 1.9ක් පමණ ඉතා ආසන්න ප්‍රදේශයක ය.

පෞරාණික වැදගත්කමකින් යුත් එමෙන් ම ලෝක උරුමයක් සේ ප්‍රකාශිත සීගිරියේ වටපිටාවට හානිකර මෙම සුවිසල් ඉදිකිරීම සම්බන්ධව මාර්තු 28දා 'සිලෝන් ටුඩේ' පුවත්පතින් හා අප්‍රේල් 4දා 'මව්බිම' පුවත්පතින් කරන ලද හෙළිදරව් කිරීම්වලින් අනතුරුව එකී ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දන්වා නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම වැඩබිමේ දැන්වීමක් සවිකොට ඇත.

සංචාරක ආකර්ෂණය අතින් මුල් තැන ගත් සංචාරක කලාපයක් හා ලෝක උරුම ස්ථානයක් වන සීගිරියට හා අවට හරිත පරිසරයට මෙම සුවිසල් ඉදිකිරීම හේතුවෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් සංචාරක සමාගම් කිහිපයක් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් පෙරේරා මහතා වෙත ලිපියක් යවමින් අවධානය යොමු කිරීමට කටයුතු කරන ලදී.

Sri Lanka Association of Inbound Tour Operation සංවිධානයේ සභාපති තිලක් වීරසිංහ, Hotel Association of Sri Lanka හි සභාපති සනත් උක්වත්ත, Travel Agents Association of Sri Lanka හි සභාපති චන්න විජේමාන්න සහ Sri Lanka Tourism Alliance හි මලික් ජේ. ප්‍රනාන්දු යන මහත්වරුන් එම ලිපියට අස්සන් තබා ඇත.

සීගිරි පර්වතයේ සිට ඉතා ආසන්නව හොඳින් දර්ශනයට පාත්‍ර වන ස්ථානයක මෙලෙස සුඛෝපභෝගී නිවාස 108කින් යුත් හා මහල් හතකින් යුත් දැවැන්ත කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් ඉදිකිරීම හේතුවෙන් ඒ කෙරෙහි ඇති සංචාරක ආකර්ෂණය නැතිවීමේ භීතියක් ඇති වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් සීගිරිය අවට ප්‍රදේශයට නොගැළපෙන මෙම ඉදිකිරීම වහාම නවතා දැමීමට කටයුතු කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුව කලින් කලට කැණීම් සිදුකරන අවස්ථාවන්හිදී පුරාවිද්‍යා ආරක්‍ෂක කලාප (Buffer Zones) ඒ කලාපයන් අනුව පුළුල් කිරීම කරනු ලබයි. අදාළ නිවාස සංකීර්ණය ගොඩනැගෙන්නේ මෙසේ පුළුල් කළ පුරාවිද්‍යා ආරක්‍ෂක කලාපයක් තුළයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්මාරක සහ කලාප පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (Icoms) සභාපති ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ ආචාර්ය ගාමිණි විජේසූරිය මහතා පවසන්නේ සීගිරිය පර්වතය ආශ්‍රිත පුරාවිද්‍යා ආරක්‍ෂක කලාපය නිල වශයෙන් ලියාපදිංචි කර නැති බවයි. එසේම යුනෙස්කෝව මගින් අනුමත කරනු ලැබ නොමැති නම් කලින් කලට එහි සීමා වෙනස් නොවන බවයි. එමගින් පැහැදිලි වන්නේ නඩත්තු කිරීමේ දුර්වලතා සහ අපැහැදිලි තත්ත්වයන් හේතුවෙන් රාජ්‍ය ආයතන ලබාදෙන අවසරයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක හා උරුමයන් වශයෙන් වැදගත් ස්ථාන තර්ජනයන්ට ලක්ව ඇති බවයි.

සංචාරක සමාගම් විසින් සීගිරිය සංචාරක කලාපයට අදාළ ඉදිකිරීම් මගින් සිදුවන හානිය සම්බන්ධයෙන් කරන ලද මැදිහත්වීම සහ මාධ්‍ය හෙළිදරව් හේතුකොට ගෙන එම ඉදිකිරීම් අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබුණ ද අප හමුවේ නැඟෙන බරපතළ ප්‍රශ්නයක් ඇත.

මෙහිදී මතුවන එම බරපතළ ප්‍රශ්නය වන්නේ පෞරාණික සීගිරි බලකොටුව ආසන්නයේ මෙබඳු සුවිසල් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය අවසර දුන්නේ කෙසේ ද යන්නයි. කෙසේ හෝ එසේ ලබාදුන් අවසරය හදිසියේම අත්හිටුවීමට සිදුව ඇත්තේ මෙකී ව්‍යාපෘතියට එරෙහිව මහජන විරෝධයක් ඇති බව කියමිනි.

මේ දෙයාකාරයේ ම හැසිරීම තුළින් පෙනී යන්නේ අපගේ අතීත උරුමයන් සහිත ස්ථාන සුරක්‍ෂිත කිරීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් නොමැතිකම හෝ නොඑසේ නම් මෙවැනි බරපතළ කාරණා චේතනාන්විතව නොසලකා හරින බවයි.

මෙකී මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන ඇති සීගිරි පව්වේ (පර්වතය දෙසට දිවෙන වැලි පාර ආරම්භයේ) සිට කි.මී. 5.5ක් පමණ සමීපයෙනි. මෙය පුරාවිද්‍යාත්මක පිළිගැනීම් අනුව අධිසංවේදී කලාපයට අයත් වන්නකි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කළ පොතකට අනුව සීගිරිය ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් ජීවත් වූ පෙදෙසකි.

මෙවැනි පෞරාණික වටිනාකමක් ඇති සීගිරියේ අධිසංවේදී කලාපය තුළ මෙවැනි සත් මහල් දැවැන්ත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ පුවත 'සිලෝන් ටුඩේ' පුවත්පත මගින් පළමුව අනාවරණය කිරීමෙන් අනතුරුව ඉකුත් 30 දා දඹුල්ල නාගරික සංවර්ධන අධිකාරිය වහා එම ස්ථානයට ගොස් එකී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නවත්වන ලෙස දන්වා දැන්වීම් පුවරුවක් සවිකිරීමට කටයුතු කර ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් ස්ථානීය ගවේෂණයක් කිරීමට දඹුල්ලට ගිය 'සිලෝන් ටුඩේ' මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදීම නාගරික සංවර්ධන අධිකාරියේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මගහැර ඇත. එම ගවේෂණයට සහභාගි වූ 'සිලෝන් ටුඩේ' මාධ්‍යවේදිනිය පහත සටහන තබා ඇත.

තම බල ප්‍රදේශය තුළ සිදුවන්නේ කුමක් ද යන්න ගැන දඹුල්ල ප්‍රාදේශීය සභාව දැන සිටිය යුතු වුවත් ඔවුන් කියා සිටින්නේ අදාළ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් සතුව කිසිදු වාර්තාවක් නැති බවයි. මෙම කාරණය සම්බන්ධයෙන් කතා කිරීමට තමන්ට බලයක් නැති බවත් එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති බවත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් පවසයි.

දඹුල්ල ප්‍රාද්ශීය සභා ලේකම්වරයාට අනුව ඔවුන්ට බලතල ඇත්තේ කාමර හතරක් හෝ ඊට අඩු කාමර සංඛ්‍යාවක් ඇති නිවාස සහ හෝටල සම්බන්ධයෙන් පමණි. දඹුල්ල ප්‍රාදේශීය සභා සභාපති කේ.ජී. සෝමතිලක මහතා කියා සිටියේ තමා ළඟ කිසිදු තොරතුරක් නොමැති බවයි. තොරතුරු අවශ්‍ය නම් නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගන්නැයි ඔහු කියා සිටියේය.

අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය භාර නිලධාරි හමුවීමට උත්සාහ කළ විට මහනුවර කලාප කාර්යාලයේ ඉහළ නිලධාරියකු අපට කියා සිටියේ සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයට යන ලෙසත් ඔහුද එහි පැමිණෙන බවත්ය. නමුත් ඔහු එහි පැමිණියේ නැත. පසුව අපගේ ලේඛකයාට කතාකොට තමාට ප්‍රශ්නයක් ඇති නොකරන ලෙස කියා සිටියේය. එසේම ඔහුට අදාළ කාරණය ගැන සාකච්ඡා කිරීමට බලතල නැති බවද කීවේය. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සී.බී. මණ්ඩාවල විසින් අදාළ සත්මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමට අවසර ලබාදුන් බව හෙතෙම අනාවරණය කළේ ය.

දඹුල්ල නගරාධිපති ජාලිය හේමන්ත ඕපාත පවසන පරිදි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, වනජීවී දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පැවැති රැස්වීම්වලදී අදාළ මහල් නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති අතර ඊළඟ රැස්වීමේදී පැනනැගී ඇති ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කිරීමට ඔහු සිතයි.

මෙම කාරණය දඹුල්ල මහ නගර සීමාවෙන් ඔබ්බට යන අතර සීගිරිය අවට සිදුවන දෑ පිළිබඳ ඔවුනට බල අධිකාරියක් නොමැත. "මෑත කාලය වනතෙක් ම මෙවැනි ඉදිකිරීමක් ගැන මා දැන සිටියේ නෑ. මේකට ඉඩදෙන්න බෑ. රටේ වැසියෙක් විධියට පෞරාණික රාජධානියක් තුළ නවීන නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට මට ඉඩ දෙන්න බෑ" යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

රට තුළ ඇති ප්‍රාදේශීය සභා බොහොමයක් සතු බලතල 2017 දී ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති බවත් ඒ සංචාරක ව්‍යාපාරයේ දැවැන්ත සංවර්ධනයක් සඳහා හෙයින් ඔවුන් කරන සියල්ල හරි යැයි ඔවුන් සිතන බවත් නගරාධිපතිවරයා කීය.

අප නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල අධ්‍යක්ෂවරයා සිටින නගරාධිපතිවරයා සිටින ගොඩනැගිල්ලේ ම ඇති කාර්යාලයට ද ඇතුළු වුවත් ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ඔහුට කතා කිරීමට බලතල නැති බව කියමිනි. මාධ්‍යයට කතා කිරීම සඳහා කොළඹ සිටින නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිගේ අවසර ලැබිය යුතු බවද ඔහු පැවැසීය.

'සිලෝන් ටුඩේ' මාධ්‍යවේදිනිය නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට කතා කළත් ඔහු දුරකතනය ගත්තේ නැත. සාමාන්‍යාධිකාරිවරයාට කතා කිරීමට සිතුණොත් ඔහු පුවත්පත හා සම්බන්ධ වනු ඇති බව ඔහුගේ ලේකම්වරිය කියා සිටියේ මෙම මාධ්‍යවේදිනියගේ දුරකතන අංකය ද ලබාගනිමිනි. එහෙත් මෙම ලිපිය ලියන තෙක් නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි වෙතින් ඇමැතුමක් නොලැබිණි.

සීගිරිය සමීපයේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ලබාදී ඇති අවසරය සහ එම ඉදිකිරීම නැවැත්වීම ගැන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමෙන් වැළකී සිටී. එම ඉදිකිරීමට ලබාදී ඇති අවසරය නීත්‍යනුකූල වී නම් නාගරික සංවර්ධන අධිකාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ඉදිකිරීම් ව්‍යාපෘතිය අත්හිටුවූයේ ඇයි දැයි මාධ්‍යවේදීන් ලෙස අපි ප්‍රශ්න කරමු.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අදහස් දක්වමින් මෙවැනි ඉදිකිරීමක් සඳහා ලැබෙන අවසරය පුරාවිද්‍යාත්මක බලපෑම පිළිබඳ තක්සේරුව (Archaeology Impac Assessment - AIA)  මෙම ව්‍යාපෘතිය සඳහා නිකුත් කර ඇති බව පැවසීය. නමුත් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට කාලය අවශ්‍ය බව ඔහු පැවැසුවේ එය ඔහුද දැක නොමැති බැවිනි. එහෙත් උරුමය පිළිබඳ තක්සේරුවක් (Heritage Impact Assessment - HIA) නිල වශයෙන් සිදුකර නොමැති අතර එය ශ්‍රී ලංකාවේදී කෙරෙන්නක් නොවන බවද සඳහන් කළේ ය. ගාලු පවුර සම්බන්ධයෙන් ඉහත කී HIA ගත් අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව HIA වාර්තාවක් ගැනීමට බැඳී සිටී.

මෙහිදී 'සිලෝන් ටුඩේ' මාධ්‍යවේදිනිය AIA සහතිකය ඉල්ලා සිටියත් එවැනි ලියවිලි මාධ්‍ය සමග බෙදාහදා ගත නොහැකි බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය. ඉදිකිරීම් මීටර් 21 දක්වා ඉහළ නැංවීමට හැකි වුවත් ඉදිකිරීම්කරුවන් එය මීටර් 18ක් දක්වා පමණක් ඉහළ නැංවීම යහපත් බව ඔහු පැවසීය.

පොතන පුරාවිද්‍යා කැණීම් ක්‍ෂේත්‍රයේ සිට ඉදිකිරීම් සිදුවන තැනට දුර කි.මී. 1.9කි. ඕනෑ ම පුරාවිද්‍යා බිමක ඉදිකිරීම් මීටර් 400ක සීමාවට යටතේ බව ඔහු පැවසීය. සංවේදී කලාපයක ඉදිවන ඉදිකිරීමක් සඳහා උස කොපමණදැයි ඇසූ විට කෝට්ටේ නගරය, කොළඹ කොටුව හා 'සිලෝන් ටුඩේ' කාර්යාලය පිහිටි ස්ථාන පවා සංවේදී කලාප බව ඔහු පැවැසීය.

'සිලෝන් ටුඩේ' පුවත්පත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ කාරණය ගැන පැහැදිලි කිරීමක් පුරාවිද්‍යා දෙපාර්තමේතුවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා ඇත.

එහෙයින් සීගිරියේ අන්තර්ජාතික වටිනාකම තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු වනු ඇත.

(මව්බිම)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top