Apr 18, 2021

දේශපාලන පළිගැනීම් වාර්තාව ගැන යෝජනාව එපා – නීතීඥ සංගමය Featured

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කල යුතු බවට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
එම නිර්දේශ ක්‍රියාත්මක කළහොත් දැනට විභාග වෙමින් පවතින ඇතැම් අපරාධ නඩු කටයුතු සඳහා අනවශ්‍ය බලපෑම් එල්ලවිය හැකි පෙන්වා දෙන ඔවුන්, එමගින් නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පමණක් නොව මෙරට ස්වාධීන අධිකරණ ක්‍රියාවලියටද මැදිහත්වීම් සිදුවන බව කියා සිටියි.
 
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවද එහි පිටපතක් ඉල්ලා සිටියද එයද මෙතෙක් සිය සංගමයට ලැබී නොමැති බවද එම සංගමය අවධාරණය කරයි.
 
එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාවේ දක්වා ඇති පරිදි කිසියම් අයුරකින් අපරාධමය නඩු ඉල්ලා අස් කර ගැනීමක් සිදුවුවහොත් ඊට එරෙහිව සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහතික වෙයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top