Apr 30, 2021

හෝන් ගසා විරෝධය පෑ තරුණයාට ඇප (Update)

 

හෝන් ගසා විරෝධය පෑ තරුණයාට ඇප (Update)

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹ දෙසට පැමිණීමේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රු. 50,000 ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

මෙම නඩුව මැයි මස 12දා යළි කැඳවීමට නියමිතයි.

---------------------------------------------

(මුල් පුවත : පෙ.ව. 08:34, අප්‍රේල් 30, 2021)

චීන ආරක්ෂක ඇමතිගේ රථ පෙළට විරෝධය පෑ අයෙක් අත්අඩංගුවට 

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ ජනතාවට මාර්ගය අවහිර කිරීමට විරෝධය දක්වා නළා නාද කිරීමේ විරෝධතාවක් කළ බව කියන තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීමේ චෝදනා මත ඔහු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අයෙකි.
 
පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන්නේ පසුගියදා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමේදී වියානා සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිත්‍යෙකුට ආරක්ෂාව සැපයීමට මාර්ග වල වාහන ධාවනය සීමාකළ කර තිබියදී මොහු අදාළ විරෝධතාව සිදුකර ඇති බවයි.

ඒ අවස්ථාවේ දී අයුතු ජනරාශියක් සංවිධානය කරමින් මෙම තරුණයා වෙනත් රියදුරන් උසි ගැන්වීමක් කොට වාහන නළා නාදකිරීමේ විරෝධතාවක් පැවැත්වූ බැවින් චීන ආරක්ෂක අමාත්‍ය වරයාගේ ආරක්ෂාව සැපයීමේ පොලිස් රාජකාරි වලට බාධා එල්ල වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

අදාළ තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මේ සිද්ධිය සම්බන්ධ වීඩියොවක් මීට පෙර සමාජ මාධ්‍යයේ පලව තිබිණි.
 

 

 

 

 

 

 

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top