May 04, 2021

ඉන්දියානු පාස්පෝට් සඳහා ලංකාවට අලුතෙන් වීසා නෑ! Featured

ඉන්දියාව පුරා දරුණු ලෙස පැතිර යන කෝවිඩ් -19 රැල්ල හමුවේ එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර හිමි විදේශිකයින්ට අලුතෙන් සංචාරක වීසා බලපත්‍ර නිකුත් නොකරන බව වාර්තා වේ.

මෙම පියවර අප්‍රේල් 29 දා සිට ක්‍රියාත්මක බව පැවසේ.

මේ අතර, 'ද මෝනිං' පුවත්පත වාර්තා කරන්නේ මෙම තීරණය, කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (NOCPCO)  විසින් ගත් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා රෝග මර්ධන අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසූ බවයි.

කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය නතර කිරීමට පෙර සැලකිය යුතු වීසා බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇති බවත්, එම නිසා එම වීසා බලපත්‍ර මගින් තවමත් රට තුළට පැමිණිය හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසන බවද එහි දැක්වේ.

කෙසේවෙතත්, අප්‍රේල් 29 ට පෙර ලබාගත් සංචාරක වීසා බලපත්‍ර සහිත ඉන්දියානුවන් පවා රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංචාරක බුබුලක් ද පසුගිය මාසයේදී යෝජනා කර තිබුණු අතර, ඇතැම් සංචාරක නියෝජිතයන් විසින් ඉන්දියාවෙන් පැමිණෙන අය වෙනුවෙන් දින 14ක නිරෝධායන පැකේජ පිළිබඳව සමාජ මාධ්‍ය වලද පළ වී තිබුණු වාර්තා ද දැඩි කතාබහට ලක්විය.

අප්‍රේල් 21දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසා තිබුණේ දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ඇති කර ඇති මෙම සංචාරක බුබුල අත්හිටුවා නැති බවත්, අප්‍රේල් 26 දිනයේදී ශ්‍රී ලංකාවේ සිට කුෂිනගර් බලා  පියාසර කිරීමට නියමිතව පැවති ගුවන්ගමන පමණක් අත්හිටුවා ඇති බවත්ය.

ඉන්දියාවේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙම ගුවන්ගමන කල්දමා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top