May 05, 2021

ආණ්ඩුවේ කැරළිකාර පිලට තව චාන්ස් එකක් දෙයි !

දෙවැනි වතාවට ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ ඇතුළු කැරළිකාර කණ්ඩායමට තව එක් අවස්ථාවක් ලබාදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 11 වැනිදා නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැදවීමට අගමැතිවරයා පියවර ගෙන ඇත.

අරලිය ගහ මන්දිරයේ ඊයේ (04) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රුස්වීමට වෙනත් පුද්ගලයන්ටද ආරාධනා කර ඇති බව කියමින්  අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස්, අසංක නවරත්න යන මහත්වරුන් ද, අතුරලියේ රතන හිමියන් ද එම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ බව වාර්තා වේ .

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ අතර, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස ඊට සහභාගී නොවූ බව දැනගන්නට ඇත .

එම පක්ෂ නායකයන් පෙරේදා පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මාධ්‍යට පවසා තිබුණේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බවය.

පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් කැඳවා සිටි නිසා ඊට සහභාගි නොවූ බව හෙතෙම සඳහන් කර තිබිණි.

තමාත්, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, එල්. එම්. අතාවුල්ලා, ජයන්ත සමරවීර, යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියන් අරලියගහ මන්දිරයට ගොස් පෙරේදා පස්වරුවේ අගමැතිවරයා හමුවූ බවද ඔහු හෙළිකර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top