May 08, 2021

සයිනොෆාම් එන්නත ලබාදීම අද සිටම අරඹයි; මුලින්ම පානදුරේ 100කට

චීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි 100 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව පළමු අදියරේදී ලබාදීමට කටයුතු කරන බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉශ්මි මහතා කියා සිටියේය.

වයස අවුරුදු 60 ට අඩු අයට එන්නත ලබාදීම එහිදී අද සිදුකළේය.

විදේශිකයින් ද එන්නත ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිම විශේෂත්වයකි.
 
සයිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවූයේ ද අද (08) දිනයේදී වන අතර එය ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණේ ඊයේ (07) දිනයේය.
 
සිනොෆාම් එන්නත ජනතාවට ලබාදීම ලබන සතියේ සිට සිදුකරණ බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කර තිබුණද, ජනාධිපතිවරයා එය ලබාදීම අද සිටම සිදුකරන ලෙස සෞඛ්‍ය අංශයට කළ දැනුවත් කිරීමක් අනුව එම එන්නත අද සිටම ලබාදීම සිදු කර තිබේ.

කොවිඩ් රෝගීන් බහුලව වාර්තා වන ග්‍රාම සේවා වසම්වලට අනුපිළිවෙළට මේ එන්නත දීමට කටයුතු කරන බව මහාචාර්ය ජයසුමන මහතා මීට පෙර අවධාරණය කර තිබිණි.

චීන රජය විසින් මෙරටට මේ එන්නත ලක්ෂ හයක ප්‍රමාණයක් දී ඇති බවත් ඉන් මෙරට සිටින චීන ජාතිකයන් 2,000කට අධික පිරිසකට මාත්‍රා දෙකම දී ඇති බවද ඇමැතිවරයා කියා සිටී.
 
සබැඳි පුවත්
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top