Jun 07, 2021

යාල සෆාරි රියදුරෝ කචල් දැමොත් අත්අඩංගුවට ගන්න බව කියලා 

යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන ප්‍රංශ නාවුකයන්ට විරෝධය නොදක්වන ලෙස තමන්ට කිරින්ද පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දුන් බව යාල ගම සෆාරී ජීප් රථ රියදුරන්ගේ සංගමයේ ලේකම් සම්පත් ගලප්පත්ති මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

කිරින්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (06) තමා පොලිසියට කැඳවා මේ දැනුවත් කිරීම කළ බවද ඔහු කීය.

එසේම යම් විරෝධතාවයක් පැවැත්වුවහොත් නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට ගන්නා බවද ස්ථානාධිපතිවරයා කී බව සම්පත් මහතා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති තත්ත්වයක් තුළ මේ අයුරින් අවදානම් ලෙස සංචාරකයන් ගෙන්වීමට විරෝධය පළ කරමින් තමා ෆේස්බුක් සටහනක් පල කිරීමෙන් පසුව මේ තත්ත්වය ඇතිවූ බවද ඔහු කීය.

කෙසේවුවද, රහස් පොලිස් නිලධාරීන්ද තමා හමුවන්නට පැමිණි බවද ඔහු අනාවරණය කළේය.

සිය සංගමයට තවත් සංගම්  තුනක් ඇති බවත්, ඒ සියළු සංගම්වල ජීප් රථ 800ක් පමණ ඇති බවත්, ඒවායෙන් ආණ්ඩුවට සම්බන්ධ ජීප් රථ 23ක් පමණක් අද සංචාරකයින් ඇදීමට එක්වන බවද ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳව තවදුරටත් අදහදස් දැක්වූ සම්පත් ගලප්පත්ති මහතා

“  මොහොතේ රට පවතින්නේ දැඩි සංචරන නීති ක්‍රියාත්මක වන පසුබිමක. මෙවැනි තත්ත්වයක් තුළ කවර පසුබිමක් යටතේ වත් සංචාරකයන් නොගෙන්වන ලෙස වෛද්‍ය විද්‍යා මහාචාර්යවරුන් පවා වැඳ වැටී රජයෙන් ඉල්ලා සිටින තත්ත්වයක් අපි මාධ්‍යවලින් දුටුවා. එවැනි පසුබමක් තුළ රජය සංචාරකයන් පිරිසක් ගෙන්වන්න යනවා. මේ වනවිට වසා දමා ඇති යාල ජාතික වනෝද්‍යානය වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝගයක් මත අද සිට විවෘත කරවීමට නියමිතව තිබෙනවා. දවසකට 90 දෙනා බැගින් කාණ්ඩ කිහිපයක් දින 4ක් තිස්සේ යාල වගේම උඩවළව මින්නේරිය, කවුඩුල්ල වැනි වනෝද්‍යානවල සංචරය කිරීමට නියමිත බව සඳහන්. ඔවුන්ගෙන් යාල පැමිණෙන අයට සංචාරකයන්ට වනොද්‍යානයේ ඇතුළත ගමන් කිරීමට ජීප් රථ 23ක් තෝරාගෙන තිබෙනවා. ඒ අය තෝරාගෙන තිනේනේ දේශපාලන හිතවත්කම් මතයි.

අපට ප්‍රශ්නය තිබෙන්නේ ඒක නෙවෙයි. රට මේ මොහොතේ අනවශ්‍ය අනතුරකට විවෘත කිරීම අපි මීට කලින් ගෙනා යුක්රේන සංචාරකයන් ගෙනුත් පාඩම් ඉගෙන ගත්තා ඒ නිසයි අපි විරුද්ධ වුනේ. නමුත් අපට දැන් විරෝධය පළ කරන්න යන්න බැහැ. එළියට බැස්සොත් අත්අඩංගුවට ගන්නව කියල තියෙනවා. අපේ ජීප් රථ සංගමයේ රියදුරු සාමාජිකයන් සියල්ලටම දැනුම් දෙන්න කියා පොලිස් ස්ථානාධිපතිතුමා දැන්වුවා. " මෙසේද කීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top