Jun 10, 2021

වෛද්‍යවරු දික් කරන්න කියයි - පොලිසියෙන් ලිහිල් කරන බව කියයි Featured

මෙරට කොවිඩ්-19 වැළඳෙන වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බැවින් දැනට පනවා තිබෙන සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය පියවර ගතයුතු බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ වන විට පනවා තිබෙන සංචරණ සීමාවල බොහෝ අඩුපාඩු දක්නට ලැබෙන බවත් එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් එම සංචරණ සීමා පැනවිය යුතු බවත් ඒ මහතා පවසයි.

සංචරණ සීමාවල ප්‍රගතියක් අත්කර ගැනීමට නම් සති දෙකකට වැඩි කාලයක් එය ක්‍රියාත්මක කළ යුතු බව ද දැනට පවතින සංචරණ සීමාවල පවතින අඩුපාඩු නිසා තවම ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බවද මෙරට ජනගහනය ඉන්දීය ජනගහනයට හා සාපේක්‍ෂව ගෙන බලන විට මෙරට කොරෝනාවෛරසය පැතිරයාමේ අවදානම හා මරණ සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉතා ඉහළ තත්ත්වයක් පෙන්නුම් කරන බවද එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

සංචරණ සීමා පැනවීමෙන් පසුව රටේ ජනතාවට අවශ්‍ය ආහාර පානාදිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට කඩිනමින් රජය පියවර ගත්තේ නම් සංචරණ සීමා පැනවීම තුළින් ජනතාව එතරම් අපහසුතාවකට පත් නොවන බවද එය කළ යුත්තේ සෞඛ්‍ය අංශ නොව රජය විසින් බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

"නිවෙසටම වී සිටියොත් 14 සීමා ලිහිල් වේවි"

සංචරණ නීතිවලට ගරු කරමින් නිවෙසේම රැඳී සිටියහොත් 14 වැනිදා වනවිට යම් යම් සංචරණ සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම සංචරණ නීතිවලට අනුගත නොවී සිටියහොත් තව කොපමණ කල් රට මෙසේ වසාදැමීමට සිදුවෙතැයි කියන්න බැරි බවත් ඒ මහතා‍ සඳහන් කරයි.

එහෙත් ජනතාව නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඒ අනුව ලබන 14 වැනිදා යම් යම් සංචරණ සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට හැකිවෙතැයි තමා විශ්වාස කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top