Jun 10, 2021

Sky කාන්දුවක් ගැන හෙළිකරයි; ඇමති නාලක නෑ කියයි

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.

නැව ආසන්නයේ ඇති මුහුදු වතුරට විශාල තෙල් කාන්දුවක් මිශ්‍ර වී ඇති අයුරු මෙම ඡායාරූප වලින් දැක්වෙයි.

Satellite images show a huge oil slick flowing from part of the damaged ship. Pic: Planet Labs

මෙම තෙල් කාන්දුව මීටර් ගණනක් දිගට දැකිය හැකි බව ස්කයි නිවුස් සේවය වාර්තා කළේය.

රසායනි ද්‍රව්‍ය, පොලිතීන් කැට වැනි පරිසරයට අහිතකර ද්‍රව්‍ය රැගත් කන්ටේනර්ද සහිතව ගමන් ගත් මෙම නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ජුනි 02 දා සිට මුහුදු බත්වීම ආරම්භ විය.

මෙය ශ්‍රී ලංකාවේ අභාග්‍යසම්පන්නම සාගර පරිස දූෂණය ලෙසින්ද හැඳින්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් කැස්බෑවුන්, මුහුදු පක්ෂීන් මත්ස්‍යයින්ගේ මළ සිරුරු වෙරළට ගොඩ ගසමින් තිබේ.

මෙහි සමුද්‍ර දූෂණය පිළිබඳව ජාත්‍යන්තර සංවිධානද අවධානය යොමුකර තිබේ.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල වශයෙන් තෙල් කාන්දුවන බවට විදේශීය නාලිකාවක් විසින් නිකුත් කළ ප්‍රවෘත්ති වාර්තාව නිවරදි නැතැයි එම නෞකාව අසල නැංගුරම් ලා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු වෙරළාරක්ෂක භටයින් තමාට තහවුරු කර ඇතැයි අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දක්වා තිබේ.

එම පණිවුඩයේ විදෙස් නාලිකාව නිකුත් කර ඇති ඡායාරූපය නොමඟයවන සුළු විය හැකි බව දක්වා ඇති අතර, කෙසේවුවද, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට විශේෂඥයින් යොදවන බවද ඔහු දක්වා ඇත.
අදාල, ට්විටර් පණිවුඩය පහත දැක්වේ.

Sky1 670px 21 06 09

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top