Jul 22, 2021

මියගිය දැරිය ගැන විධිමත් පරීක්‍ෂණයක් අරඹන්නැයි CIDයට පැමිණිල්ලක් Featured

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවෙසේදී මියගිය දැරිය පිළිබඳව සිදුකරන පරීක්‍ෂණ වෙනත් අතකට යොමු නොකර වහා ම ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කොට තිබේ.

පැමිණිල්ල කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ කැඳවුම්කරු පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ මෙසේ පැවැසූහ.

"දිගු කලක් මේ දැරිය හිටියේ ඒ නිවසේ නම්, ඒ නිවෙසේ කවුරුන් හෝ මෙසේ අපයෝජනය කරලා තිබෙනවා. නිවසේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නේ නැතිව මේ පරීක්‍ෂණ වෙන අතකට යොමු කරන්න හදනවා ද කියලා අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ප්‍රශ්න කරනවා.අපි කියන්නේ මේ සිද්ධිය පිළිබඳව වහා ම විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසයි."

මෙහිදී අදහස් දැක්වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු මෙසේ කීය.

"රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගේන්න කියලා කිව්වේ සමගි ජන බලවේගයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා මන්ත්‍රි රාජිත සේනාරත්න වැනි අයයි. ජනතා විමුක්ති පෙරමුණත් ඔහු සමග දේශපාලනයේ සිටියා. 20 වන සංශෝධනය වෙලාවේ මේ ආණ්ඩුව එක්කත් අවබෝධයෙන් යුතුව ඩීල් එකක බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්නවා.සියලු දේශපාලන පක්‍ෂවලට කියන්නේ මේ පරීක්‍ෂණවලට බලපෑම් කරන්න එපා කියලයි."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top