Sathosa

Mar 21, 2017

''ජාත්‍යන්තරය සතුටු කිරීමට වඩා රටේ ජනතාව වැදගත්'' - ජනාධිපති Featured

ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමට වඩා රටේ ස්වාධිපත්‍ය හා ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරදීම වැදගත්බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

අගමැතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ඊයේ (20) රාත්‍රී හදිසියේම කැඳවා ඇති ජනාධිපතිවරයා එබව පවසා ඇත්තේ, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මතුකළ කාරණයකට අදාලව කරුණු පැහැදිලි කරමින් බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, කබීර් හෂීම්, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, තලතා අකුකොරලා, රන්ජිත් මද්දුම බණ්ඩාර යන එජාප ඇමතිවරුන්ද, සරත් අමුණුගම, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා හා තිලංග සුමතිපාල යන ශ්‍රීලනිප ඇමතිවරුන් ද ජාතික හෙළ උරුමයේ චම්පික රණවක අමාත්‍යවරයා ද මෙම රැස්වීමට සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට දෙමුහුම් අධිකරණයක් පිටුවන බවටත්, ඒ සඳහා විදෙස් විනිසුරන් ගෙන ඒමේ සුදානමක් පවතින බවටත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත්මග' සංවිධානයේ ප්‍රධානින් රැස්වීම සංවිධානය කරමින් පැවසීම නිසා ජනතාව, විශේෂයෙන් හමුදා සාමාජිකයින් බරපතල ව්‍යාකුල තත්වයට පත්ව ඇතැයි මෙහිදී සඳහන් කර ඇති අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, එහෙයින් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදී තිබේ.

''88 - 89 ඒවත් හොයන්න වේවි'' :

ඒ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා, විදෙස් විනිසුරන් ගෙන්වීමට තමා කිසිඳු ඉඩක් නොතබන බව අවධාරණය කර ඇත.

සිදුවූ බව කියන යුද අපරාධ සොයන්න ගියහොත්, 88 -89 භීෂණ සමයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධවත්, එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් සිදුකල මානව හිමිකම් කඩවීම් සම්බන්ධවත් සොයා බැලීමට සිදුවිය හැකි බව පවසා ඇති ජනාධිපතිවරයා, පිටරැටියන් කියන කියන පරිදි වැඩ කිරීමට තමා සුදානම් නැතැයි අවධාරණය කර තිබේ.

පිටරට උදවිය සතුටු කිරීමට වඩා රටේ ජනතාවට ආදරය කිරීමත් ඔවුන් සතුටු කිරීමත් වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.


''කිසිඳු විටෙක රට පවා දෙන්නේ නැ''

mangala 9මෙහිදී අදහස් දක්වා ඇති විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, විදෙස් විනිසුරන්ගේ සහභාගිත්වයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර දැඩි බලපෑමක් නැතැයි කරුණු කාරනා සහිතව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා විදෙස් විනිසුරුවරුන් යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබෙන බව තමා පසුගිය 16දා කොළඹ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කල බවද සඳහන් කර ඇති මංගල සමරවීර ඇමතිවරයා, තමා ජාත්‍යන්තරය හමුවේ ද එබව පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි අවධාරණය කර තිබේ.

අගමැතිගේ ස්ථාවරය :

මෙහිදී අදහස් දක්වා ඇති අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මෙම කාරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පසුගිය 19දා වීරකැටිය නයිගල රජමහ විහාරයේ පැවති උත්සවයකදී ද තමා පැහැදිලිව කියා සිටි බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා විදෙස් විනිසුරුවරුන් යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබෙන බවත්, එවැනි
ජාත්‍යන්තර අධිකරණයකට රජය කිසිසේත් එකඟ නොවන බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කර තිබිණ.

හර්ෂ ලවා ප්‍රකාශයක් :

කෙසේවුවද රට හමුවේ පමණක් නොව ජාත්‍යන්තරය හමුවේදී මෙම කාරණය තරයේ අවධාරණය කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට ලක්ව ඇති අතර, ඒ අනුව ජිනිවා මානවහිමිකම් කොමිසම් අවසන් දින සැසිවාරයට සහභාගිවන විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ලවා රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරවීමට තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා සමග හෙට රුසියාවේ තෙදින සංචාරයකට සහභාගී වන බැවින් ජිනීවා අවසන් සැසිවාරයට සහභාගී නොවනු ඇත.

සබැඳි පුවත් :

'ජාත්‍යන්තර අධිකරණයකට කිසිසේත් එකඟ නෑ' - අගමැති

TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි

විදෙස් විනිසුරන් ගෙන්වා ගැනීමට හැකියාවක් නැහැ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top