Sep 27, 2021

SLBC චන්ද්‍රපාලගේ ෆෝන් 8ක් හඩ්සන්ගේ අත්අඩංගුවේ!

ආණ්ඩුවේ දැඩි ආනයන පාලනයට බියවී ඉදිරියේදී ජංගම දුරකථන හිඟයක් ඇතිවෙතැයි සැකසිතී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා විසින් ගුවන්විදුලි සංස්ථාවේ මුදලින් එහි සේවකයන්ට මිලදීගත් ජංගම දුරකථන 08ක් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් සිය භාරයට ගෙන ඇතැයි එම සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ජංගම දුරකථන මිලදී ගෙන ඇත්තේ ඒ මහතාගේ භාවිතයට එකක්, වෙළඳ අංශයට 03ක් හා අලුතින් ආරම්භ කළ අධ්‍යාපන අංශය සඳහා 4ක් වශයෙනි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ මිලදී ගැනීම් සිදුකර ඇත්තේ එහි ඉහල නිලධාරීන්ට තම පෞද්ගලික ජංගම දුරකථනය භාවිතා කිරීම වෙනුවෙන් යහ පාලන ආණ්ඩු සමයේදී සංනිවේදන දීමනා ලෙස වැටුපට අතිරේක දීමනාවක් ගෙවමින් තිබියදීය.

විශන් නාලිකාවත් ෆේල් - ඒ බරත් SLBC යට

පසුගිය අගෝස්තු 16 වැනිදා SLBC ය වැඩිම ආදායම් ඉපැයූ වෙළඳ සේවයට අයත්ව තිබූ 102.3 එෆ්.එම්. නාලිකාව පූර්ණ කාලීනව අධ්‍යාපන නාලිකාවක් කිරීමට කටයුතු කළ ද එහි හදිස්සි ආරම්භය හේතුවෙන් නිසි ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ගිවිසුම් අත්සන් නොකිරීම නිසා පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

එම නාලිකාව නඩත්තු කිරීමට යන වියදම් නිසි අයුරින් ගණනය නොකිරීම මේ තත්ත්වයට හේතුවී ඇති බව පැවසේ.

කෙසේවුවද, අදාළ ගැටලුව හේතුවෙන් මෙතෙක් එම නාලිකාව ඔස්සේ විකාශය වූ පාර්ලිමේන්තු විකාශය ද අත්හිටුවා දැමීමට කටයුතු කර ඇති බව පැවසේ.

මූලික වැටුප විතරක් ගෙවන්න ගිහින් පඩිත් ප්‍රමාද වෙයි!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරනු ලබන සේවකයන්ට මූලික වැටුප පමණක් මෙවර හිමිවන බවට අප කළ අනාවරණය සමඟ කලබලයට පත්වූ ගුවන් විදුලියේ මුදල් අංශය අදාළ තීන්දුව වෙනස් කර ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, නැවත ඔවුන්ගේ සම්පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර ඇති අතර මුලින් මූලික වැටුප ගෙවීමට පමණක් වෙන්කර තිබූ මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සමාන්‍යයෙන් 25 වැනිදා ගෙවිය යුතු ඔවුන්ගේ වැටුප් ගෙවීම අද (27) දක්වා කල් ගොස් ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්
මෙවර SLBC සේවකයන්ට මූලික වැටුප විතරයි!

 

 

 

 

 

 

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top