Sep 27, 2021

දියවන්නා තෙල් තට්ටුවට හේතුව හෙළිවෙයි!

දියවන්නා ඔයේ ඉකුත් සතියේ දී පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් යොදවා මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කර ඇත.

මෙම විමර්ශනයට අනුව රාජගිරිය -බුත්ගමුව පාලම අසල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ අදාළ තෙල් සහිත ජල සම්පාල ලබාගැනීමෙන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳ විමර්ශන සිදු කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

කාලාන්තරයක් තිස්සේ දියවන්නා ඔයට සම්බන්ධ බුත්ගමුව ප්‍රදේශයේ ඇළ මාර්ගයකට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ එම ඇළෙයි ජලය ගලා නො යෑම හේතුවෙන් ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව අදාළ වාර්තාව මඟින් අනාවරණය කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දෙශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස විමර්ශන කණ්ඩායම් පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඒ අතර ඒ අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අප ජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද යැයි සොයා බැලිය යුතු බව ඔවුන් දන්වා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top