Oct 07, 2021

රප්‍රදේ බැසිල්ගේ ගෝලයා කපිල ගේමක් ගහයි; ඩලසුත් අන්දයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ WiFi ජාලයක් තිබිදී නැවතත් අලුතින් WiFi ජාලයක් සවි කිරීම සඳහා රුපියල් මිලියන 27ක ඇස්තමේන්තුවකට පසුගියදා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් වන අතර, මෙම අවශ්‍යතාව මතුකරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් ලබාදුන් උපදෙස් මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) කපිල ආරියවංශ මහතා විසින් මෙය සකස්කර ඇතැයි පැවසේ.

මේ යෝජනාවේ මූලිකත්වය ගෙන අත්තේ කපිල විසින් වන අතර ඔහු අමාත්‍යවරයා හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ද නොමඟ යවා ඇති බව වාර්තා වේ.

කපිල මෙසේ නැවත WiFi ජාලයක් සවිකිරීමට සැලැසුම් සකස්කර ඇත්තේ යහපාලන රජය සමයේ වටිනා උපාංගයොදා, ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් මිලදී ගන්නා ලද WiFi ජාලයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීය.

අදාළ WiFi ජාලය ආරක්ෂිත නොවන බවත්, ඉන් එම දෙපාර්තමේන්තුවේ රියදුරන්ද WiFi ලබා ගන්නා බවත්, ඉන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මාසික ගාස්තු ලෙස විශාල මුදලක් වැයවන බවත් පවසමින් නැවත වරක් අලුතින් උපාංග ද යොදා WiFi ජාලයක් සවිකිරීමට ඔහු යෝජනාකර තිබේ.

කෙසේවුවද, විදුලි සංදේශ තාක්ෂණික ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ අදාළ පැරණි WiFi ජාලයට රුපියල් ලක්ෂ 5ක පමණ වියදමක් කර ඔවුන්ට දැනට ඇති ගැටලුකාරී තත්ත්වයන් මඟහරවාගෙන භාවිතා කළ හැකිව තිබියදී මෙසේ කටයුතු කර ඇති බවයි.

මේ යෝජනාව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඉදිරිපත් කිරීමේදී තාක්ෂණික ඇගයීමක් ලබාදී ඇති අතර, අදාල තාක්ෂණික කමිටුවේ WiFi හා විදුලි සංදේශ තාක්ෂණික දැනුම සහිත පුද්ගලයන් සිට ඇත්තේ එක් අයෙකු පමණක් බව වාර්තා වේ.

කපිල, එම තාක්ෂණික ඇගයුම් කමිටුවේද සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති බව පැවසේ.

මේ කටයුතු සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රධානියාගෙන්ද සහය ලැබී ඇතැයි වාර්තා වේ.

කපිල මහතා, බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරණ සමයේ එහි සේවය කල අයෙක් වන අතර යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසුව ඔහුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මාරුකර යවා තිබිණි.

තවත්, විශේෂත්වයක් වන්නේ අදාළ WiFi ජාලය දෙවැනි වරටත් ටෙලිකොම් ආයතනයෙන්ම මිලදී ගැනීමට කටයුතු යොදා තිබීමය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top