Oct 13, 2021

කොරෝනා අනාවැකි කියන වෙබ් එකක් ලංකාවේ! Featured

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන නොකඩවා ඉදිරි දින 10 ඇතුළත ආසාදනය වියහැකි සහ මරණයට පත්විය හැකි කොරෝනා රෝගීන් සංඛ්‍යාව පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර තිබේ.

මෙම වෙබ් අඩවිය හඳුන්වනු ලබන්නේ AI4COVID ලෙසය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ සහ උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර ඇති අතර ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක සහ මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුහු මෙය නිර්මාණය කළහ.

ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය, ජපානය, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්තද මෙම පුනරාකථන ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද මහතා:

“කොරෝනා වසංගතයත් සමඟ මුළු ලෝකයම සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් කඩා වැටී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව එම උවදුරෙන් තරමක් දුරට හෝ ගලවා ගැනීමේ අභිප්‍රායෙන් අපි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගෙන මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට හිතුවා. මෙලෙසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ලබාදෙන තොරතුරුවල ඉහළ නිරවද්‍යතාවක් පවතින බව මෙතෙක් සිදුකළ පර්යේෂණවලින් තහවුරුවී තිබෙනවා. මෙම වෙබ් අඩවිය මගින් ඉදිරි දින 10 ඇතුළත වර්ධනය වියහැකි ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ ගණන කලින්ම බලාගන්න පුළුවන්. ඒ වගේම කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවූ සමාජ, ආර්ථික බලපෑම පිළිබඳවත් අප පර්යේෂණ කණ්ඩායම අධ්‍යයනය කරමින් සිටිනවා.

මෙම වෙබ් අඩවියේ ඇති විශේෂත්වය වනුයේ වඩාත් නිවැරැදි සහ නිශ්චිතව වශයෙන් කෙටි කාලීන අනාවැකි පළකිරීමයි. මෙතෙක් විවිධ රටවල් නිර්මාණය ඇත්තේ දිගුකාලීන එනම් ඉදිරි මාස 2 ක්, 3 ක් වැනි කාල වකවානු පිළිබඳ අනාවැකි පළකරන දත්ත පද්ධතියි. ඒවායේ පුනරාකථන දත්ත පද්ධති මගින් පළකරන අනාවැකි වෙනස්වීමේ (එනම් ඉහළ විචල්‍යතාවක්) හැකියාව තිබෙන බව අනාවරණයවී තියෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය, ශ්‍රාස්ත්‍ර සහ ඉංජිනේරු යන පීඨවල සිටින ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහයෝගීතාව මත මෙය නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මැලේෂියාවේ තනාගා විශ්වවිද්‍යාලයේ සහයෝගීතාවද, කැනඩාවේ අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වයද මේ සඳහා හිමිවුණා.

මෙයට අමතරව වීඩියෝ තාක්ෂණය උපයෝගීකරගෙන මිනිසුන්ගේ හැසිරීම් රටා එනම් දුරස්ථභාවය රකින්නේද? යන්න ස්වයංක්‍රීයව හඳුනාගන්නා ආකාරය පිළිබඳවත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගීකරගෙන කොරෝනා වසංගතයේ බලපෑම මගින් ජනජීවිතයට සිදුවන බලපෑම අවම කරගැනීම ඇතුඵ තවත් විවිධාකාර පර්යේෂණ මේවන විට සිදුකරමින් පවතිනවා. ” යැයි ගොඩලියැද්ද මහතා කීය.

කොරෝනා පුරෝකථන ලබාදෙන වෙබ් අඩවිය පිළිබඳ විස්තර https://covid.eng.pdn.ac.lk ලබාගත හැකි අතර පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකරන නවතම පර්යේෂණ පිළිබඳවත් එම වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top