Oct 13, 2021

බැඳුම්කර නඩුව මහේන්ද්‍රන් නැතිව විභාගකරන්න නීතිපති ඉල්ලයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව 2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විතකොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය සක්‍රීයව පවතින බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සදහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් නාවාන මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව නඩුව නැවත දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙවීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top