Oct 13, 2021

හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා අයින් කරගනී

2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දැනුම් දුන්නේය.

තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.ඒ අනුව ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය නොවැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top