Oct 14, 2021

පැනමා පත්‍රිකා ගැනත් හොයන්නැයි මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිට දන්වයි! Featured

පැන්ඩෝරා පත්‍රිකා මඟින් පසුගියදා හෙළි කරන ලද ශ්‍රී  ලාංකිකයන් පිළිබඳ මෙන්ම 2016 වසරේදී පැනමා පත්‍රිකා මඟින්ද හෙළිකරන ලද සියලුම ශ්‍රී  ලාංකිකයන් පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත උපදෙස් ලබාදෙන්නැයි ඉල්ලමින් “රට රකින ජනහඬ” සංවිධානයේ සභාපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා මාධ්‍ය මඟින් පුවත් පළ කරමින් හෙළිකර තිබූ ආකාරයට පැන්ඩෝරා පත්‍රිකාවල ඇතුළත් බව කියන අනෙකුත් සියලු ශ්‍රී  ලාංකිකයන් පිළිබඳව මෙන්ම 2016දී පැනමා පත්‍රිකා මඟින් හෙළි කළ ශ්‍රී  ලාංකිකයන් 65 දෙනාගේ වත්කම් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන ලෙස එම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

දැනටමත් පසුගියදා පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළි කළ තිරු නඩේසන් මහතාගේ ගනුදෙනු පිළිබඳ පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය බෙහෙවින් අගය කරන බවද මෙම ලිපිය මඟින් සඳහන් කරන උන්වහන්සේ එම පරීක්‍ෂණ එක් පුද්ගලයකුට පමණක් සීමා නොකර පැන්ඩෝරා හා පැනමා පත්‍රිකා මඟින් නම් හෙළි කළ සියලු ශ්‍රී  ලාංකිකයන් පිළිබඳ සාධාරණ හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මේ ආකාරයෙන් මෙම ගනුදෙනුවලට සම්බන්ධ බව කියන සියලුම ශ්‍රී  ලාංකිකයෝ පිළිබඳ පරීක්‍ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීම නීතියේ සාධාරණත්වය සැමට සමාන බව දක්වන්නක් බවද උන්වහන්සේ එම ලිපියෙහි සඳහන් කරති.

එවැනි සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම මඟින් කිසිදු පුද්ගලයකුට නීති විරෝධීව හා අයුතු ලෙස වත්කම් පවත්වාගෙන යෑමට මෙන්ම වංචා දූෂණ සිදු කිරීමට ඇති ඉඩ ප්‍රස්තාවද ඇහිරෙන බව මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ලිපියේ තවදුරටත් සඳහන්ව තිබේ.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය මඟින් 2016 වසරේදී පැනමා පත්‍රිකා මඟින් හෙළිකරන ලද දැවැන්ත වත්කම් හිමි ශ්‍රී  ලාංකිකයන්ගේ නම් 65ක් අතරේ යහපාලන රජයේ හිටපු ඇමැතිවරයකු වූ චම්පික රණවකගේ සමීපතමයකු වන විද්‍යා දිල්රුක් අමරපාල, සෙනරත් බණ්ඩාර දිසානායක, සුමිත් කුමාරණතුංග, නිශ්ශංක සේනාධිපති, ශ්‍රී නි පැමෙලා ජයකොඩි, ප්‍රසන්න සිරිමෙවන් රාජරත්න, කෙනත් ජෝන් පැන්ඩිග්‍රාස්ට්, ටි්‍රස්ටන් ලොරේන්ස් බර්නාඩ්, අරූන් හයිඩ්‍රාමනී, යින් පෙන්ග්, සයිමන්  ෆින්ච්, කිත්සිරි මංජුල යාපා, ක්‍රිස්ටෝපර් රොහාන් මාටින්, සුරේන්ද්‍ර එදිරිවීර, අහමඩ් ඉස්මයිල් හුසේන්, ශ්‍යාමලී එදිරිවීර, ඉම්තියාස් හසන් අලි, සේනක දුනුවිල සේනානායක, සංජේ පෙරේරා, ෂාමිලා වහාබ්, නිරන්ජන් සුනිල් මෙන්ඩිස්, නිලාන් අබේවික්‍රම, චන්ද්‍රජිත් සමන් ජයමහ, දිමිත්‍රි ද වංසා වික්‍රමරත්න, ජගත් සුමතිපාල, ක්‍රිෂාන් නිරාජ් ජයසේකර, ශිලාන්ත් බොතේජු, රොහාන් ගෝමිස්, අවන්ති ජයතිලක, ෆරීඩා ජීවුන්ජී ඇතුළු තවත් ගණනාවකගේ නම් මෙරට මාධ්‍ය මඟින්ද හෙළිදරව් කර තිබිණි.

(මව්බිම)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top