Apr 04, 2017

'මෛත්‍රී ජනපතිවුවත් න්‍යාය පත්‍රය එ.ජා.ප.යේ' -ඩලස්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ නායකයා වුණත් මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය එ.ජා.ප. න්‍යාය පත්‍රය බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

''ආණ්ඩුව අද කරන්නේ රටේ සම්පත් මේ ආකාරයට ධනපතියන්ට විකුණා දැමීම නොවෙයි. අද කරන්නේ විජාතිකකරණයයි. අද සටන් කරන්නට සිදුව තිබෙන්නේ විජාතිකකරණයට එරෙහිවයි'' ඔහු කියා සිටියි.

හෙතෙම මේ අදහස් පළ කළේ පෙරේදා (02දා) දෙහිවලදී පැවති ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ ජාතික සමුළුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

''මෙරට ශබ්දකෝෂයට පෞද්ගලීකරණය යන වචනය එකතු වන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ යුගයේදීයි. ඒ කාලය වන විට බණ්ඩාරනායක අගමැතිවරුන් දෙපළ විසින් රාජ්‍ය සම්පත් රැසක් ජාතියට එක්කර තිබුණා. ජයවර්ධන ජනාධිපතිතුමා මේ සම්පත් මෙරට ධනපතියන්ට විකුණා දැම්මා.

ගෙරිහමක ඉඩක් දීලා වෙච්ච දේ :

1505දී පෘතුගීසීන් ඇවිත් ඉල්ලුවේ වරායවල් ඉඩම් අක්කර 15,000ක් නොවෙයි. ගෙරිහමක ඉඩකුයි. ගෙරිහමක ඉඩක් දීලා එය නැවත ලබාගන්න වසර 443ක් බලා ඉන්න සිදුවුණා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රටේ නායකයා වුණත් මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය එ.ජා.ප. න්‍යාය පත්‍රයයි.

මේ රටේ ජාතික සම්පත් රැක ගැනීමේ කැක්කුම තිබෙන සියලු දෙනාටම ඒවා රැක ගැනීම වෙනුවෙන් එකතු වන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොවුණොත් 2020 වන විට මේ රටේ ඉතුරු වෙන්නේ පොලිසියයි, බන්ධනාගාරයයි. සෙනසුරාදාට නඩු අහන උසාවියයි විතරයි.

රාජ්‍යයම විකුණනවා :

අපි ලෝක දේශපාලන යථාර්ථයන් ගැන දන්නා මිනිස්සු. පාර්ලිමේන්තුවේ ඉන්න අපි 51 දෙනාට මේක භාරදීලා දියවන්නාව ඇතුළේදී මේක නතර කරන්න බැරි බව ඔබ තේරුම්ගත යුතුයි.

ජනවාරි 08 හංස කණ්ඩායම මම ජනපති, මම අගමැති, මම විපක්‍ෂ නායක, මම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කියලා තනතුරු සියල්ල බෙදාගෙනයි තිබෙන්නේ. රාජ්‍ය සම්පත් පමණක් නොව මොවුන් සමස්ත රාජ්‍යයම විකුණන්න සූදානම් බව අපි තේරුම් ගත යුතුයි.''

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top