Apr 05, 2017

'ඇමැති මණ්‌ඩල සංශෝධනයකට ජනපතිට බලයක් නැහැ'

ඇමැති මණ්‌ඩලය සංශෝධනය කරන බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් පාරම් බෑවත් 19 වැනි සංශෝධනයෙන් පසු අගමැතිවරයාගේ උපදෙස්‌ මත ජනාධිපතිවරයා ඇමැතිවරුන් පත් කළ යුතු නිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ ඇමැති ධුර තමන් සතුකර ගැනීමේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ සිහිනය බොඳවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ පෙරේදා (03 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

''පසුගිය දිනවල රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ ඇමැති මණ්‌ඩල සංශෝධනය. ඔන්න වුණා මෙන්න වුණා ජනාධිපතිතුමා රුසියාවේ ගිහින් ආව ගමන් සිදු කරනවා වගේ විවිධ කතන්දර පැතිරුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරු කොතරම් පාරම් බෑවත් ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ කරනවා අහවලා ඉවත් කරනවා කියලා ඒ අය නොදන්න කාරණය තමයි 19 වැනි සංශෝධනයෙන් පස්‌සේ ජනාධිපතිවරයාට ඇමැති මණ්‌ඩලය සංශෝධනය කරන්න බෑ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 43/1 වගන්තිය යටතේ අමාත්‍යාංශ ගණන තීරණය කරන්නේ ජනාධිපතිතුමා.

නමුත් 43/2 යටතේ අමාත්‍යාංශ වලට අදාළ ඇමැතිවරයා පත් කළ යුත්තේ අගමැතිතුමාගේ උපදෙස්‌ මතයි. මේ කාරණය නොදන්නා නිසා තමයි ශ්‍රීලනිප ඇමැතිවරු තමන්ගේ ජනාධිපති ලවා ඇමැති මණ්‌ඩල මාරුවක්‌ කරලා එජාපයේ අමාත්‍යාංශ තමන් සතු කර ගන්න සිහින මැව්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට අතපසු වීමක්‌ :

19 වැනි සංශෝධනය ඉදිරිපත් කරපු වේලාවේ පිවිතුරු හෙළ උරුමය විදිහට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී අභියෝගයට ලක්‌ කරලා අපි කිව්වා ජනමත විචාරණයකදී ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබාදුන් බලයක්‌ අගමැතිවරයාට පවරනවා නම් ඒකට ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ශ්‍

රේෂ්ඨාධිකරණය මේක පිළිගත්තා. ඒක නිසා තමයි 43/1 යටතේ අගමැතිට දීලා තිබුණු බලයක්‌ නැවත ජනාධිපතිවරයාට ආවේ.

නමුත් 43/2 බලය නැවත ජනාධිපතිට දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අතපසු වීමක්‌ සිදුවෙලා තියෙනවා. මේ අතපසු වීම නිසා තමයි අද ඇමැති මණ්‌ඩල සංශෝධනය කර ගන්න බැරුව තමයි ශ්‍රීලනිප නායකයන් සහ ජනාධිපතිතුමාත් ලතවෙන්නේ.

ඒ නිසා 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපති සහ අගමැතිගේ අනුමැතියක්‌ නොමැතිව ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කළ නොහැකියි.

ඇමැති මාරුවක්‌ නොවෙයි ආණ්‌ඩු මාරුවක්‌:

අපිට කියන්න තියෙන්නේ දෙදෙනාගේම අනුමැතිය ඇමැති මණ්‌ඩල සංශෝධනයට අවශ්‍ය නිසා එජාප ඇමැති ධුර ශ්‍රීලනිපයට දිනා ගැනීමේ සමහර ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ සිහින සදහටම බොඳවී ඇති බවයි.

අපි දනික විදිහට නම් ඇමැතිවරු මාරු කිරීම රටේ ප්‍රශ්න වලට උත්තරයක්‌ නෙවෙයි. ඒක හරියට හිසේ කැක්‌කුමට කොට්‌ටෙ මාරු කළා වගේ වැඩක්‌. දෙපැත්තේම ඇමැතිවරු අසමත් නිසා ඇමැති මාරු වුණා කියලා වැඩක්‌ වෙන්නේ නෑ. ඒ නිසා දැන් රටට අවශ්‍ය ඇමැති මාරුවක්‌ නොවෙයි ආණ්‌ඩු මාරුවක්‌''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top