වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සපයා ඇති අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි මේ අවුරුද්දේ මුල් මාස අට තුලදී පමණක් වධහිංසාවට ලක්වී ඇති සංඛ්‍යාව 208 කි.
නිල මධ්‍යස්ථාන වල පසුගිය වසර තුලදී වධ දීම් පිලිබඳ වාර්තා 420ක් තමන්ට ලැබී ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන් වෙයි.
නිල නොවන කඳවුරු වල කෙරෙන වධහිංසන පිලිබඳ සංඛ්‍යාලේඛන එහි ඇතුලත් නොවේ.
වධහිංසාව විධික්රමයක් :
රහසිගත වධකාගාර පවත්වාගෙන යන බවට දේශීය හා ජාත්‍යන්තර සංවිධාන විසින් කිහිපවර කර ඇති හෙළිදරව් කිරීම්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් වාර්තාවෙන් තහවුරු කර ඇත.
නිල කඳවුරුවලට අමතරව නීති විරෝධී ලෙසින් තවත් කඳවුරු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොමිසම ත්‍රස්ත විමර්ශන ඒකකයට (TID) චෝදනා නගා තිබේ.
“අඩුම වශයෙන් පැය දොළහක්වත් පුද්ගලයන් රඳවා තබාගත් එම ස්ථාන TID කාර්යාල බව විමර්ශන වලදී හඳුනා ගත හැකි වුවත්, ඒවා ගැසට් කරන ලද රැඳවුම් මධ්‍යස්ථාන නොවේ.
ත්‍රස්ත විමර්ශන ඒකකය සතු ගැසට් කළ රැඳවුම් මධ්‍යස්ථාන ඇත්තේ කොළඹ, බූස්සේ සහ වවුනියාවේ පමණකි,” යි වාර්තාවේ සඳහන් වෙයි.
වධහිංසාව ‘රටපුරා නිරන්තරයෙන් යොදාගන්න විධික්රමයක්’ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ අත් අඩංගුවේදී පුද්ගලයන්ට වධ දීම සිදුකෙරෙන ශාරීරික හා මානසික හිංසන ක්‍රම ගණනාවක්ම එහි විස්තර කොට ඇත.
ත්‍රස්ත පනත
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු නැතිව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටින පුද්ගලයන් පිළිබඳවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය වාර්තාවේ දක්වා තිබේ.
2012 සිට මේ දක්වා අත් අඩංගුවේ සිදුවූ මරණ 29ක් සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.
ඇතැම් අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු ස්වාධීන පරීක්ෂණ පවත්වා නැතැයි ද එහි එයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන හෙයින් එය අහෝසි කළ යුතු වග රජයට නිර්දේශ කර ඇති බව දැඩිසේ අවධාරණය කරන වාර්තාව, ඒ වෙනුවට ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කරන ජාතික ආරක්ෂක අනපනත් කෙටුම්පත තුන්වතාවක් ඉල්ලාත් තමන්ට ලැබී නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට දැනුම් දී තිබේ.
දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් විසින් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට ලබා දී ඇති වාර්තා ජිනීවාහි ශ්‍රී ලංකාව සම්බන්ධ පස්වැනි වාර්ෂික විමර්ශනය පැවැත්වෙන නොවැම්බර් මැදදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
(radiogagana)