Apr 13, 2022

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිමා නොවන මගඩිය Featured

දිනෙන් දිනම ඉ-විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීම කල්හරිමින් සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුව ළඟදීම වර්තමානයේ ඇති විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් මවා පෑමට සැලැසුම් සකස්කරමින් සිටින බව වාර්තා වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉ-විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට ටෙන්ඩරයක් දැමීම මෙසේ කල්මරන්නේ එවැනි ටෙන්ඩරයක් කැඳවන ලෙසට කැබිනට් තීන්දුවක් ද ලබා දී තිබියදීය.

කෙසේවුවද, වර්තමානයේ නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍රය කාලයක සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවට සපයන්නේ කුප්‍රකට සමාගමක් වන එපික් ලංකා ටෙක්නොලොජි සමාගම විසිනි.

එපික් ලංකා ටෙක්නොලොජි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට සෘජුවම වගකිවයුතු ආයනය බවද මේවන විට අධිකරණයේදී හෙළිවෙමින් තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන තරින්ද්‍ර කල්පගේ අත්අඩංගුවට පත්ව පසුව ඇපමත මුදාහැරි අතර සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවකු වන ප්‍රමෝද් දිලූප රාමනායක යන අයව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරද සිටියේය.

එපික්ලාගේ අමුතු ගණන්


මෑතක සිට විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම වැඩිවීමත් සමඟ මේවන විට දිනකට ගමන් බලපත්‍ර 4000ක් පමණ නිකුත් කරනු ලබන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති පාස්පෝර්ට් ප්‍රමාණය ලක්ෂ 4කට ආසන්න බව පැවසෙන අතර එය ප්‍රමාණවත් වන්නේ තවත් මාස 7-8කට පමණක් බවද කියවේ.

කෙසේවුවද, ඉ-විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ටෙන්ඩරයක් කැඳවා එහි අවසන් තීන්දුවකට පැමිණීමට නම් අවම වශයෙන් තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බව විශේෂඥයින්ගේ මතය වේ.

ඒ අනුව නැවතත් එපික් හරහා පරණ පාස්පොර්ට් තොගයක් ඇනවුම් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව අවස්ථාවක් ලැබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

ඔවුන් එසේ සැරසෙන්නේ එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමෙන් නැවත පරණ පාස්පෝට් ලබා නොගන්නා ලෙසත්, මේ ක්‍රමය දික් නොකරණ ලෙසටත් කැබිනට් මණ්ඩලය තදින් අවවාද කර කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබියදීය.

ඒ අනුව අදාළ ඉල්ලුම ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු වහාම එය සැපයීමට එපික් ලංකා ටෙක්නොලජීස් ද අමුතු මඟක් ගැනීමට සුදානම්වන බවද වාර්තා වේ.

මෙවර එපික් ලංකා ටෙක්නොලජීස් සමාගම පරණ පාස්පෝර්ට් ලක්ෂ 10ක් ගන්නේ නම් අඩු මුදලක්ද ලක්ෂ 5ක් ගන්නේ නම් වැඩි මුදලක් ද ප්‍රකාශ කිරීමට සැලැසුම් සකස්කර ඇති බව එම සමාගම් අභ්‍යන්තර ආරංචි වලින් වාර්තා වේ.

ඒ අනුව ඔවුන්ගේ මූලික අරමුණ ලක්ෂ 10 වැඩි විදෙස් ගමන්බලපත්‍ර ගොන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇගේ ගැසීමය.

එමගින් ඔවුන්ගේ පරණ පාස්පොර්ට් සැපයීමේ මඟඩිය තවත් කාලයක් දික්කර ගැනීමට නිසකවම අවස්ථාව ලැබීමක් බවද මෙහි තතුදත්තන්ගේ මතය වේ.

ටෙන්ඩර් අරහංද?

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක මිලදී ගැනීම්වලදී ඒවා සිදුකරනු ලබන්නේ ටෙන්ඩර් පටිපාටියකින් වුවද, පැරණි පාස්පෝර්ට් සැපයීම නිලධාරීන් විසින් එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමට ලබාදීම නිවැරදි ක්‍රමවේදයක් නොවන බව කේෂ්ත්‍ර ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

කෙසේවුවද, ඔවුන් පෙන්වාදෙන්නේ එසේ පැරණි පාස්පෝර්ට් සැපයීමට ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළේ නම් ඒ සඳහා හොඳ මිලක් ලබා ගැනීමට මෙන්ම රටට මූල්‍යමය වාසියක් ලබා ගැනීමට අවස්ථාව ඇති බවයි.

ලෝකයේ කුජීත වූ ලංකාවේ පාස්පොර්ට් එක

ලන්ඩනය මූලික කර ගත් ගෝලීය පුරවැසි සහ නේවාසික උපදේශන ආයතනයක් වන Henley & Partners විසින් විදේශ ගමන් බලපත්‍රයක ප්‍රබලත්වය තීරණය කරන ඔවුන්ගේ Henley Passport Index දර්ශකයේ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ඇත්තේ 102 වැනි ස්ථානයේය.

අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය (IATA) වෙතින් දත්ත ලබා ගනිමින් සකස්කරනු ලබන මේ දර්ශකයට අයත්ව ඇති රටවල් ගණන 111කි.

කෙසේවුවද, ශ්‍රී ලංකාව පසුවන 102 වැනි ස්ථානයේ ඇති සෙසු රටවල් වන්නේ ලෙබනනය හා සුඩානයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයට ඇතුළුවිය හැක්කේ විසා නිදහස් රටවල් 41කට පමණි. ඉන් රටවල් 22ක් රටට ඇතුළුවීමේදී වීසා ලබාදෙන රටවල් වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top