May 18, 2022

නොරොච්චෝලේ වගේ පාස්පොර්ට් පරිගණක නිතර කැඩෙන්නේ ඇයි? Featured

විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව මෙන්ම සාමාන්‍ය සේවාවද පසුගිය සතියේ පවත්වාගෙන යාමට නොහැකිව ඇත්තේ එහි Servers ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, එම පරිඝක පද්ධතියේ දෝෂ හා මුද්‍රණ අංශයේ පැවැති දෝෂ හේතුවෙන් බව මේවන විට හෙළිව තිබේ.

මේ ගැටලුව අද ඊයේ සිට පවතින්නක් නොවන අතර මෙය කලක සිට පවතින එකක් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ කටයුතු සිදුව ඇත්තේ එම ආයතනයේ සිටින දූෂිත නිලධාරීන් පද්ධතියේ ගුණාත්මක බවට වඩා අල්ලස් හා අයථා ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වීම බවට එම කේෂත්‍රයේ ප්‍රවීනයන්ගෙන් චෝදනා එල්ලවෙති.

කෙසේවුවද, වසර 10කටත් වඩා වැඩි කාලයක සිට විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ ඉන්ෆොමැටික්ස් පුද්ගලික සමාගම විසිනි.

ඔවුන්ට මේ කාර්ය සිදු කිරීම වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 20 ඉක්මවූ මුදලක් ලබාදෙන බව වාර්තා වේ.

එසේම මෙහි මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ ලංකාවේ කුප්‍රකට සමාගමක් වන එපික් ලංකා සමාගම විසිනි.

ඒ සඳහා ද විශාල මුදලක් ලබාදෙන අතර එපික් ලංකා ටෙක්නොලොජි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට සෘජුවම වගකිවයුතු ආයනය බව ද මේවන විට අධිකරණයේදී හෙළිවෙමින් තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන තරින්ද්‍ර කල්පගේ අත්අඩංගුවට පත්ව පසුව ඇපමත මුදාහැරි අතර සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවකු වන ප්‍රමෝද් දිලූප රාමනායක යන අයව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරද සිටියේය.

මෙතරම් මුදලක් මසකට වැයකරමින් පවත්වාගෙන යන අදාළ පද්ධතිය හදිස්සියේ බිඳ වැටී තිබුණේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 3000ක් පමණ මුද්‍රණය කිරීමේ අභියෝගය හේතුවෙනි.

විශේෂයෙන් ඉන්ෆොමැටික්ස් පුද්ගලික සමාගමේ මසකට විශාල මුදලක් ලබාගත්තද එහි පරිමානය වර්ධනය කිරීමට පසුගිය වසරවලදී කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවද පැවසේ.

මේ අතර, එපික් ආයතනයෙන් සපයා ඇති මුද්‍රණ යන්ත්‍රවලින් ද කිහිපයක් අක්‍රිය මට්ටමේ පැවැතීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවට දිනකට විදෙස් ගමන් බලපත්‍ර 3000ක් මුද්‍රණය කිරීම ද මේවන විට විශාල අභියෝගයක් වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, මෙසේ මුද්‍රණය කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර බොදවීමේ, මෙන්ම අපහැදිලිවීමේ සම්භාවිතාව ඉහල බව එහි සිටින අවංක නිලධාරින් බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඒවා අලල්සට හා දූෂණයට යටවූ නිලධාරීන් විසින් කලක සිට යටගසමින් සිටින බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඉන්ෆොමැටික්ස් පුද්ගලික සමාගම විසින් වසර 10කටත් වැඩි කාලයක සිට පවත්වාගෙන යනු ලබන මේ පද්ධතිය මේවන විට නව පද්ධතියක් සඳහා මාරු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්ව ව පවතින බවද වාර්තා වේ.

කෙසේවුවද, මේ සඳහා අලුත් පද්ධතියක් ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් නොකිරීමට එම ආයතනයේ දූෂිත නිලධාරීන් කල් මරමින් සිටින්නේ එවැනි ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ හොත් ඉන්ෆොමැටික්ස් පුද්ගලික සමාගම හා එපික් සමාගම ඉන් ගැලවීයාමෙන් ඔවුන්ගේ අයුතු ප්‍රතිලාභ අහිමිවෙතැයි යන බියෙන් යැයි ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේවන විට මේ පද්ධතිය ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පරණ පද්ධතියට අලුත් කෑලි එක්කරමින් නවීකරණය කරමින් බව පැවසෙන අතර පරිගණක ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ එය ඉතා අසාර්ථක තීන්දුවක් බවයි.

සබැඳි පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිමා නොවන මගඩිය

පාස්පොර්ට් කන්තෝරුව වසා දැමෙයි!

හදිස්සියේම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවත්වයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top