May 21, 2022

අරුන්දිකගේ පයිලට් පචේ අතේ මාට්ටු වෙයි! (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද ප්‍රතික්ෂේප කරයි.

ගුවන් හමුදාව මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසා ඇත්තේ මන්ත්‍රීවරයා මෙතෙක් ගුවන් හමුදාවේ සේවය කළ බවට වාර්තා නොමැති බවයි.

පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ තොරතුරු ඇතුළත් වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටියා කියලා මට අද පෙන්නන්න දෙයක් නැහැ. ඒ දවස්වල ගුවන් යානයක් ගුවන් ගත වුණාම ඒවා ලොග්වල සටහන් කරලා තිබුණේ ඒ කාලේ පරිගණක ගත කරන්න පහසුකමක් තිබුණේ නැති නිසා. ඒ ලොග් ඔක්කොම විනාශ කරලා දැම්මා. මගේ නිවසේ ඇති වූ ගින්න" මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වූ අතර එහිදී ඔහු අසමත්ව ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටී.

ගෲප් කපිතාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ වූ බවට පවා වාර්තා නොමැති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top