Apr 19, 2017

'කුණු කන්ද ඛේදවාචකයේ පළමුවැනි විත්තිකරු රනිල්'

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධියේ පළමු විත්තකරු වත්මන් අගමැතිවරයා බවත් සියලුම පාලකයන් මේ සිද්ධියට වගකිව යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසයි.

''මේක මානුෂීය අපරාධයක්. අනියම් මිනීමැරීමක්. මේ ගැන හරි නම් ජිනීවා කොමිසමේ හුසේන් කුමාරයත් සොයන්න ඕනේ...'' යයි ඔහු අවධාරණය කර සිටියේය. 

වාසුදේව මන්ත්‍රිවරයා එබව සඳහන් කලේ ඊයේ (18දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සමාජවාදී ජනතා පෙරමුණ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

අනියම් මිනී මැරීමක් :
''මම පොඩි කාලයක් කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායකයා විදිහට වැඩ කළා. ඒ කාලය තුළ අපි මේ කුණු ප්‍රශ්නයට විසඳුමක් ගේන්න හැදුවා. ඒත් කුණු ජාවාරම්කාරයන්ට පාලකයන් යටවීම නිසා එය කරගන්න බැරිවුණා. ජීවිත 50ක් පමණ විනාශ වුණු මීතොටමුල්ලේ සිද්ධියේදී පාලකයන් විසින් කුමන වගකීමක් දරනවාද කියන එක ප්‍රශ්නයක්.

මේ සිද්ධියට වගකියන්නේ කවුද? මේක මානුෂීය අපරාධයක්.

මේ ගැන හරි නම් ජිනීවා කොමිසමේ හුසේන් කුමාරයත් සොයන්න ඕනේ. මේක අනියම් මිනී මැරීමක්.

ඒ මිනිස්සු අහන එකම දේ අපි ජීවත්වුණු තැනට කුණු ගෙනත් දැම්මේ ඇයි. 

සමහර වගකිව යුතු අය අහනවා කුණු ගොඩ ළඟින් අපේ මිනිස්සු ඉවත් වෙලා නොගියේ ඇයි කියලා. ඒ මිනිස්සුන්ට කුකුල් කූඩු වගේ නිවාස ලබාදුන්නට ඒවාට යන්න පුළුවන්ද? ලකෂ 15ක් දීලා යන්න කියලා කිව්වහම යන්න පුළුවන්ද?

මේ කුණු ප්‍රශ්නය නවත්වන්න පුළුවන්කම තිබුණා. එහෙත් උසාවිය පවා දන්නවා ඇයි එහෙම කරන්න බැරි වුණේ කියලා. 

මේ මානුෂීය අපරාධයට වගකිව යුතු අයට එරෙහිව ක්‍රියා කරන්න කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මරික්කාර්ලා මුජිබර්ලා ඉල්ලා අස්විය යුතුයි:
මරික්කාර්ලා මුජිබර් රාහුමාන්ලා මන්ත්‍රිවරු විදියට පත්වුණේ මේ කුණු ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා කියලායි. 

කුණු ජාවාරම්කාරයෝ නගර සභාව හරහා මිලියන ගණන් හම්බ කළා. 

අගමැතිවරයා කළේ පොරොන්දු දීලා පොරොන්දු කඩ කරලා අද මිනිස්සුන්ව මේ කුණු කන්දට යට වෙන්න ඇරපු එකයි. 

මේ කුණු කන්ද ඉවත් කරනවා කියලා මන්ත්‍රිවරු වුණු මරික්කාර්ලා, මුජිබර් රහුමාන්ලා ඉල්ලා අස්විය යුතුයි. එය ඔවුන්ගේ සාදාචාරාත්මක යුතුකමක්.''

හැමෝම හදන්නේ ලකුණු දමා ගන්නයි:
මෙහිදී අහදස් දැක්වූ රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.

''මීතොටමුල්ල සිද්ධිය වළක්වා ගන්න තිබුණා. මේ ප්‍රශ්නවලට මොන ආණ්ඩුව ආවත් පිළිතුරු නෑ.

 මේ කුණු කන්ද පුත්තලමට අරගෙන යන්න තීරණයක් තිබුණා. නමුත් ඒක කළේ නෑ. 

බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා කියන්නේ පළාත් සභාවට කුණු අයින් කරන්න දුන්නෑ කියලා.

මේ හැමෝම හදන්නේ ලකුණු දමාගන්නයි. 

චම්පික රණවකට කුණු බැහැර කරන ක්‍රමවේදය ගැන හොඳ දැනුමක් තිබෙනවා. එහෙත් ඛේදවාචකයක් වනතුරු විසඳුමක් දෙන්න බැරි වුණා.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top