Apr 19, 2017

'පදනම් ආයතනය' විසුරුවා හැරියේ වාසුගේ පුතා නිසා ? Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරිනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ පුත් සාක්‍ය නානායක්කාර මහතාට එම ආයතනයේ අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වසර කිහිපයක් පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුරට සාක්‍ය නානායක්කාර මහතා පත්කරන්නැයි ජනාධිපති කාර්යාලය විසින් පසුගිය අප්‍රේල් මස 07 දා එම ආයතනයේ සභාපති මහාචාර්ය කපිල ගුණසේකර මහතාට ලිපියක් යොමුකර තිබී ඇති අතර, අප්‍රේල් මස 09 දා රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර එම ආයතනයේ වසර 20කට වඩා සේවය කල ආචාර්ය සමන් විරවංශ මහතා පත්කර ඇත.

පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම විසුරුවා හරින ලද බවට දැනුම්දීමේ ලිපියක් පෙරේදා (17) ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත්තේ ඊට ප්‍රතිචාරයක් ලෙස බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවන පරිදි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු මෙසේය.

බණ්ඩාරගේ පාලනය :

ශ්‍රී ලංකා පදනම් ආයතනය ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මකවේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර එහි සභාපති ලෙස කටයුතු කලේ, දැඩි රාජපක්ෂවාදියකු වූ අචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ය. ඔහු හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සුවච කීකරු ගෝලයෙකි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වන විටත් එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ (අධ්‍යාපන) , අධ්‍යක්ෂ (පරිපාලන) තනතුරු පුරප්පාඩු වී තිබිණ.

අචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා විසින් එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල ආචාර්ය P.H.A. අරුණසිරි මහතාගේ වැඩ තහනම් කර තිබුනේ කාර්යය සාධනය ප්‍රමාණවත් නැතැයි චෝදනා කරමිනි. නමුත් එහි සැබෑ හේතුව වී ඇත්තේ ඔහු සභාපතිවරයාගේ නීති විරෝධී කටයුතු වලට එකඟ නොවීමය.

සුදුස්සකු තෝරා ගැනීම :

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ලෙස මහාචාර්ය කපිල ගුණසේකර මහතා පත්කරනු ලැබිය.

ඔහු පසුගිය මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු නාමලේඛනයට ඇතුලත් කර සිටි අයෙකි.

නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්වීමෙන් පසුව පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ (අධ්‍යාපන) , අධ්‍යක්ෂ (පරිපාලන) තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීම සඳහා 2016 නොවැම්බර් මස පුවත්පත් දැන්වීම් පලකරනු ලැබිය.

කෙසේවුවද එම දැන්වීමෙහි වූ දෝෂ හේතුවෙන් 2017 වසරේ පෙබරවාරි මාසයේ පුරප්පාඩු සඳහා යලි පුවත්පත් දැන්වීම් පළකර ඇත.

එම පුවත්පත් දැන්වීමට අනුව අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුර සඳහා අයදුම්පත් 22ක් ලැබී ඇති අතර ඉන් තෝරාගත් අට (08) දෙනෙකු 2017 මාර්තු 09දා සම්මුඛ සාකච්ජා සඳහා කැඳවා ඇත.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ පුත් සාක්‍ය නානානයක්කාර මහතා ද එසේ සම්මුඛ සාකච්ජාවට සහභාගිවූවන් අතර වේ.

විද්වත් පරීක්ෂණ මණ්ඩලයක් :

අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුර සඳහා කෙනෙකු තෝරා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලය ජනාධිපති අතිරේක ලේකම්වරයකු, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු, පේරාදෙණිය සරසවියේ ආචාර්ය විජය ජයතිලක හා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය කපිල ගුණසේකර යන විද්වතුන්ගෙන් සමන්විත වී තිබේ.

එම පරීක්ෂණ මණ්ඩලය විසින් අයදුම් කරුවන් අතරින් වඩාත්ම සුදුස්සා ලෙස නිර්දේශ කර ඇත්තේ, එම ආයතනයේ වසර 20කට වඩා කථිකාචාර්ය වරයකු ලෙස සේවය කර ඇති ආචාර්ය සමන් විරවංශ නමැති අයෙකි.

කෙසේවුවද ජනාධිපති කාර්යාලයෙන් 2017 අප්‍රේල් මස 07 දා සභාපතිවරයා වෙත ලිපියක් එවමින් අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුර සඳහා සාක්‍ය නානානයක්කාර මහතා පත්කරන්නැයි දැනුම්දී ඇත.

යහපලනට එකඟ නැහැ :

එම තත්වය යටතේ සභාපතිවරයා අප්‍රේල් 09 දා විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති අතර, ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම එහිදී සාකච්ජාවට ගෙන තිබේ.

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම යහපාලන ප්‍රතිපත්තිවලට කිසිඳු ලෙසකින් එකඟ නැති බව අවධාරණය කර ඇති අධ්‍යක්ෂ මණ්ඩලය, එය සුදුසුකම් ඇති පුද්ගලයට සිදුකරන බලවත් අසාධාරණයක් මෙන්ම මානව හිමිකම් කඩකිරීමක් බවට අධිකරණයකදී තහවුරු වීමේ අවධානම ද සැලකිල්ලට ගනිමින් ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරිනු ලබන්නේ ඉන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුයේ, ජනාධිපති කාර්යාලයට අනුයුක්ත ආයතන ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බවත් එහි පියවරක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරී බවත්ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top