Jun 19, 2022

හෙලිකොප්ටර් 8ක් හා හමුදාවේ 300ක් සුඩානයට යැවීම ඇනහිටියි?

අප්‍රිකානු රටවල සාම සාධක මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් අටක් සහ නිලධාරීන් තුන්සියක් යැවීමට අවස්ථාව උදා වී ඇතත් රජයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා එම අවස්ථාව මග හැරී යන ලකුණු පහළ වී ඇතැයි වාර්තා වේ.

එම තත්ත්වය නිසා රටට ඩොලර් උපයා ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරී යනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

යුක්රේන් යුද ගැටුම් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මෙම අවස්ථාව උදා වී තිබේ. 

දකුණු සූඩානයේ සාම සාධක මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් තුනක් හා භට කණ්ඩායම් යොදවා උපයාගත් ඩොලර් මිලියන 110ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය කාලයේදී මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවද පැවසේ.

එසේ මුදල් උපයා දුන්නද හෙලිකොප්ටර් නඩත්තුව සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීම නිසා තවත් හෙලිකොප්ටර් අටක් යෙදවීමට ලැබී ඇති අවස්ථාව මගහැරී ගොස් තිබේ. 

හෙලිකොප්ටර් යානයකට පැයකට ඩොලර් පන්දහසක්ද, කාර්ය මණ්ඩල සාමාජිකයකුට ඩොලර් 1400ක්ද. නිරීක්ෂකයන් ලෙස එක්වන නිලධාරියකු ඩොලර් හයදහසක මාසික වැටුපක්ද එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ගෙවන බවද වාර්තා වේ.

බංග්ලාදේශ ගුවන් හමුදා කුලී පදනමට හෙලිකොප්ටර් රැගෙන ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා එක්වී එරටට ඩොලර් උපයන ප්‍රධාන මාර්ගය බවට පත්කර ඇතත්, රජයේ නිලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබී ඇති වරප්‍රසාදය මග හැරෙමින් යන බවද හෙලිවේ.

මූලාශ්‍රය - අරුණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top