Jun 21, 2022

ජනපති ඉගෙනගත්ත ආනන්දයේ ආදි සිසුන්ටත් දූෂණ චෝදනා!

කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පාසලට අහිමි කරනු ලැබ ඇති මුදල රුපියල් කෝටි දහසය ඉක්මවන බව ඵලදායී අධ්‍යාපනයක් සඳහා වූ ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයි "අරුණ" පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත වැඩිදුරටත් මෙසේ වාර්තාකර ඇත.

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා පොදු දේපළ විෂයෙහි සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම ව්‍යාපාරය ඉල්ලා තිබේ.

පාසලේ ආදි ශිෂ්‍ය සංගමයට අයත් කාර්යාලයේ විදුලි බිල්පත් ගෙවන්නේ පාසල් සංවර්ධන සමිති අරමුදලින් බව පෙන්වා දෙන එම ව්‍යාපාරය වසර දෙකක පමණක් එලෙස ගෙවා ඇති විදුලි බිලේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවා ඇති බවත් සඳහන් කරයි.

තවද පාසලේ පිහිනුම් තටාකය පෞද්ගලික ආයතනයක් සමග ඒකාබද්ධව නීති විරෝධීව අත්පත් කර ගනිමින් ආදි ශිෂ්‍ය සංගමයෙන් පාලනය කරන බවත් ඒ නිසා මාසයකට රුපියල් මිලියනයක පමණ මුදලක් පාසලට අහිමි වන බවත් ජනාධිපතිවරයාට යවා තිබෙන ලිපියේ තවදුරටත් සඳහන් වෙයි.

පසුගිය 15 වැනිදා දාතමින් යුතුව යවා තිබෙන එම ලිපියේ මෙසේ ද සඳහන්ව ඇත.

පාසල් භූමියේ ඉදි කෙරෙන පිහිනුම් තටාකවල පූර්ණ අයිතිය රජය සතු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය 2012 වසරේ නිකුත් කරන ලද අංක 2012/84 චක්‍රලේඛයේ සඳහන් වන අතර ඒ අනුව මේ දක්වා වූ මාස එකසිය දහසයක කාලයක පිහිනුම් තටාකයේ ආදායම ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීම මත අදාළ පෞද්ගලික ආයතනය ලබා ගෙන තිබේ. එම මුදල රුපියල් එකොළොස් කෝටි හැටලක්ෂයකි.

එමෙන්ම මීට වසර කිහිපයකට පෙර පිහිනුම් තටාකය අලුත් වැඩියා කිරීමට යැයි පවසමින් සිසුන් සහභාගි කරවා ගත් පාගමනක් පවත්වා රුපියල් ලක්ෂ විස්සක මුදලක් එකතු කර ගත් නමුත් ආදි ශිෂ්‍ය සංගමය මේ දක්වා පිහිනුම් කටාකයේ කිසිදු අලුත්වැඩියාවක් කර නැත.

මෙවැනි අකටයුතුකම් හේතුවෙන් ආනන්ද විදුහල යළි ගොඩනැගීමට නොහැකි වන පරිදි බරපතළ ආර්ථික අර්බුදයකටත් මුහුණ දී ඇත.

ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මහතා ද කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top